රටේ භාණ්ඩ  මිල අහස උසට යයිද? දැන් තියෙන තත්වය මත මුදල් වලින් වත්කම් ඉතිරි කරොත් මොකද වෙන්නේ? හෙට ගැන සිතා අද පාරිභෝජනය කරමුද?

සටහන ඉසුරු සම්පත් තෙන්නකෝන්.


දිනෙන් දින ඉහළ යන භාණ්ඩ හා සේවා මිල මට්ටම හමුවේ මේ වන විට ජනතාව අතිශය පිඩාවට පත්ව සිටින බව පෙනෙන්ට තිබෙන කරුණකි. අතෙකින් දිනෙන් දින උග්‍ර වන කොරෝනා අර්බුදයත්,තවත් අතෙකින් පනවා තිබෙන සංචරණ සීමා ආදී තත්වයන් නිසාත් බැට කන ජනතාවට එදිනෙදා පාරිභෝජනය සඳහා භාවිත කරන භාණ්ඩ හා සේවා මිල දරා ගැනීමට නොහැකි මට්ටමකට පැමිණ ඇති  බව මාගේ වැටහීමයි. මේ සියලු තත්වයන් මත ඉදිරියේදී ඇතිවිය හැකි තත්වයන් කිහිපයක් පිළිබඳව ඔබගේ අවධානය යොමු කරමි.


පවතින තත්වය අනුව රටේ සැලකියයුතු භාණ්ඩ හා සේවා ප්‍රමාණයක මිල ඉහළ ගොස් තිබෙන බව නොරහසක්. මෙවැනි අභියෝගාත්මක කාලයක එවැන්නක් සිදුවීම අහම්බයක් නොවේ. මෙරට භාණ්ඩ හා සේවා සඳහා පවතින ඉල්ලුමට ප්‍රමාණවත්  සැපයුමක් නොවීමත්, නිෂ්පාදනය හා ආනයනය කෙරෙහි පවතින රෙගුලාසි ආදියත් මේ සඳහා හේතු වී ඇත. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය ආහාර කෙරෙහි පවතින සීමා මේ කෙරෙහි බලපා තිබෙනවා. සීනි, හාල් ආදිය  කෙරෙහි රජය වෙතින් මිල පාලනයක් සිදු කර තිබෙන නමුත් මෙම මිල පාලනය හේතුවෙන් වෙළඳ පොළ තොග හිග වීමක් සිදුවී තිබේ. මෙහිදී සිදු වන්නේ අදාළ මිල වෙළෙන්දන්ට වාසි නොවන තත්වය නිසා අදාළ තොග සැඟවීමට කටයුතු කිරීමයි. එමෙන්ම මෙවැනි අවස්තාවක කළුකඩ මිලක් වෙළඳපොලේ අදාළ භාණ්ඩ හා සේවා වලට නිර් මානය වෙනවා. එහිදී සිදුවන්නේ වෙළෙන්දන් අදාළ මිලට වඩා වැඩි මිලකින් භාණ්ඩ හා සේවා විකිනීමට කටයුතු කිරීමයි. භාණ්ඩ හිග වීම, තොග සැඟවීම, පෝලිම් ඇතිවීම, කළුකඩ මිල ඇතිවීම ආදිය මිලපාලනයට ප්‍රතිචාර වසයෙන් සිදුවන සංසිද්ධීන් වේ. මේවා දැනටමත් ඔබ අප අත්දකිමින් සිටින්නෙමු.  කෙසේ වෙතත් මේ තත්වය පාලනයට විවිධ කටයුතු සිදුවෙමින් පවතින අතර ඒවායේ ප්‍රතිඵලදායි බව තීරණය කිරීමට මා බලාපොරොත්තු වන්නේ නැත.

අත්‍යවශ්‍ය නොවන  භාණ්ඩ ආනයනය සදහාද රජය මේ වන විට විවිධ බදු පැනවීම් හා සිමා කිරීම් සිදු කර තිබෙන නිසා එම භාණ්ඩයන්ගේද සැලකිය යුතු මිල ඉහළ යාමක් ඉදිරියේදී අපේක්ෂා කළ හැකිය. විශේෂයන්ම රථ වාහන ආනයනය කෙරෙහි පනවා තිබෙන බාධා නිසා රථවාහන වල  මේ වන විටත් විශාල මිල ගණන් ඉහළ යාමක් දක්නට ලැබෙනවා. මේ හේතුව නිසා රථවාහන වෙළඳ පල තුළ ඉදිරියේදී කිසියම් බිඳ වැටීමක් අපේක්ෂා කළ හැකියි. උදාහරණයක් ලෙස කල් බදු යටතේ ලබා ගත් වාහන වෙත එම ණය හෝ වාරික මුදල් ගෙවීමට නොහැකි වීමත්, අනෙක් අතට බැංකු වලට එම ණය පිය වා ගැනීමට නොහැකි වීමත් මත මූල්‍ය අස්ථාවරත්වයක් පවා ඇතිවීමේ  ඉඩ කඩ පවතින බව මාගේ හැඟීමයි.

මුදලින් ඉතිරි කිරීම කරනවාට වඩා වත්කම් මගින් ඉතිරි කිරීම් කිරීම මේ මොහොතේ යෝග්‍ය බව මාගේ විශ්වාසයයි. එමන්ම පාරිභෝජනය කල් නොදමා අනාගත පාරිභෝජනයන් වර්තමානයේදී සිදු කිරීමට පෙළඹීම තවත් එක වාසි දායක තත්වයක්. උදාහරණයක් ලෙස ඔබ තව මාසයකින් යම් භාණ්ඩයක් මිලට ගැනීමට සිටිනවානම් එය අද හෝ හෙට ගැනීම තුළින් මාසයකින් පසු සිදුවන මිල වැඩිවීම තුළින් වන අවාසියෙන් මිදීමට පුළුවන්. මේ පිළිබඳ ඔබගේ විවිධ මතවාදයන් තිබෙන්නට පුළුවන්. එහෙත් මේ මාගේ පෞද්ගලික මතයයි. භාණ්ඩ මිල දිනෙන් දින ඉහළ ගියද ඊට සාපේක්ෂව ඔබගේ වේතනය ඉහළ නොයන නිසා අදාළ මුදලින් මිලට ගත හැකි භාණ්ඩ ප්‍රමාණයේ අගය අඩු වීමක් අනාගතයේ සිදුවෙනවා. එය වැටුපේ/ මුදලේ මූර්ත  අගය අඩුවීමක් ලෙස නම් කළ හැකියි.

පවතින තත්වය මත අනාගතයේ සැලකියයුතු උද්දමනයකට මුහුණ පෑමට සිදුවන බව මාගේ මතයයි. මේ වන විට මහා බැංකුව විසින් සැලකියයුතු මුදල් ප්‍රමාණයක් නැවත මුද්‍රණය කර  ජනතාව අතර හුවමාරුවට යොමුකර ඇති අතර විදේශ විනිමය අනුපාතය මත වන පීඩනය ද  කෙමෙන් වැඩි වෙමින් පවතී. මේ වන විටත් ඩොලරයට සාපේක්ෂව රුපියල දැඩි අවප්‍රමානයකට ලක්ව තිබෙනවා. මෙම තත්වය ඉදිරියට වර්ධනය වුවහොත් ඩොලරයේ අගය රුපියල් 230 තෙක්  වැඩි වීමටද හැකියාව ඇත. පවතින තත්ත්ව මත පෙනී යන කරුණ නම් ආනයන අවම කිරීමෙන් මෙම තත්වය තාවකාලිකව පාලනය කිරීමත් දැනට පවතින විදේශ වත්කම් යොදා ගනිමින් පාලනය කිරීමට උත්සහ කිරීමයි. මෙම තත්වය කෙටිකාලීන විසඳුමක් වුවත් දිගු කාලීන ව සිදුකළ නොහැකි වනු ඇත.

පවතින අර්බුදය හමුවේ ආනයන  සීමා කිරීම්, තහනම්  කිරීම් මෙන්ම බදු  පැනවීම ඔස්සේ රටක මුදලේ ස්ථාවරත්වය ආරක්‍ෂා කර ගැනීම  ප්‍රමුඛ අපේක්ෂාවයි. එම තත්වයන් සුලබව වර්තමානය වන විට සිදුවන බව ඔබ විසින් අත්දැක ඇත.


සියලුම පුද්ගලයන්ගේ ආදායම් අඛණ්ඩව වැඩි නොවුනත් ඔවුන්ගේ වියදම් වැඩි වීම සිදු විය හැකිය. එය රටකටද එසේමය. රටේ ආදායම කොතරම් අඩු වුවත් වියදම් අඛණ්ඩව දැරීමට සිදු වනු ඇත. ඒ වියදම් පියවා ගැනීමට රටේ ආදායම ප්‍රමාණවත් නොවෙන අවස්ථා වලදී විදේශයන්ගෙන් ණය ලබා ගැනීම සිදුවේ.  ආර්ථික විද්‍යානුකුල පදනමෙන් විමසන කළ ණය,ආධාර හා ප්‍රධාන යනු එකක් නොව තුනකී.  ණය යනු විවිධ ණය කොන්දේසි යටතේ නිශ්චිත කාලයකදී  පොලියත් සමග ගෙවීමේ පොරොන්දුවට ලබාගනු ලබන මුල්‍ය හෝ මුල්‍යමය නොවන වත්කම් වේ. මේ සමග කියැවෙන ආධාර යන සංකල්පය පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුය. ආධාර යනු රටකට කිසියම් සහන කොන්දේසී යටතේ නැවත ගෙවීමේ පොරොන්දුවට ලැබෙන මුල්‍ය හෝ මුල්‍යමය නොවන වත්කම් වේ.  ඒවා ද නැවත ගෙවිය යුතුය. නමුත් ඒවා වෙත සහන කොන්දේසි හිමි වේ.  උදාහරණයක් ලෙස පොලිය නොමැති ව නැවත ගෙවීම්, ණය විරාම ආදිය වේ. රටකට නොමිලයේ ලැබෙන්නේ ප්‍රදානයන්  පමණි. ඒවා නැවත ගෙවිය යුතු නොවේ.

දේශපාලනඥයන් විසින් මේ සියල්ල පටලවා ඇති විටෙක වෙළඳපල පාලනය හෝ වඩා වැදගත් ආර්ථික තීරණ ගැනීම පිළිබඳව තව දුරටත්  සැලකිලිමත් විය යුතුය. කෙසේ වෙතත් පවතින තත්වය නිසි පරිදි රජය විසින් කළමනාකරණය කරගත නොහැකි වුවහොත් ඉදිරියේදී බරපතල ආර්ථික කඩා වැටීමක් සිදු වීම වලක්වාලිය නොහැකි වනු ඇත.

සටහන ඉසුරු සම්පත් තෙන්නකෝන් ගෙනි.

සේයා රූ- අන්තර්ජාලනි.

Comments

Popular posts from this blog

ගෝලීය ත්‍රස්‌තවාදයේ දේශීය බලපෑම හා ආර්ථික අස්ථාවරත්වය