මානව සංවර්ධන දර්ශකය, ලෝකය  සහ ශ්‍රී ලංකාව

සටහන-ඉසුරු සම්පත් තෙන්නකෝන්

ලොව ආර්ථිකයන්හි සංවර්ධනය ගණනය කරන විවිධ දර්ශකයන් හඳුනාගත හැකි ය. ඒ එක් එක් දර්ශකයන් ඔස්සේ රටක ආර්ථිකයේ  වර්ධනය, ආර්ථිකයේ තත්වය, ආර්ථිකයේ හැකියාව  ආදී විවිධ අංශයන් අධ්‍යයනය කිරීම සිදු වේ. මානවයාගේ යහපැවැත්ම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සවිධානය විසින් අධ්‍යයනය කිරීමට යොදා ගනු ලබන දර්ශකයක් ලෙස මානව සංවර්ධන දර්ශකය (Human Development Index) හඳුනා ගත හැකි වේ. මේ ලිපිය ඔස්සේ අපේක්ෂා කෙරෙන්නේ මානව සංවර්ධන දර්ශකය හා එහි දර්ශක පිළිබඳව අවබෝධයක් සැපයීමත්, එම දර්ශකයේ පවතින වාසි සහ අවාසි අධ්‍යයනය කිරීමත්, ශ්‍රී ලංකාව මානව සංවර්ධන දර්ශකයේ අත්කරගෙන තිබෙන ස්ථානය යන්න පිළිබඳවත් ඔබට අවබෝධයක් සැපයීම යි.

මානව සංවර්ධන දර්ශකය යනු කුමක්ද ?

මානව සංවර්ධන දර්ශකය යනු ලෝකයේ පවතින රටවල සංවර්ධනය මිනුම් කිරීම සඳහා භාවිත කරනු ලබන දර්ශකයකි. එය අංග කිහිපයකින් සමන්විත වේ. ඒ අනුව මානව සංවර්ධන දර්ශකය මානව සංවර්ධනයේ තරම පෙන්නුම් කිරීමට යොදා ගනු ලබන දර්ශකයක් වේ. එහි දී දීර්ඝ කාලීන සෞක්‍යයවත් ජීවිතය, දැනුම් සහිත බව සහ ජීවන තත්වය යන සාධක මූලික දර්ශක ලෙස යොදා ගනී.

මානව සංවර්ධන දර්ශකය හඳුන්වාදෙනු ලැබූයේ  පාකිස්ථාන ආර්ථික විද්‍යාඥ මහබූබ්-උල්-හක් (Mahbub ul Haq) . ඒ වසර 1990  දී ය. මෙම දර්ශකය ගණනය කිරීම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) යටතේ ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව මෙම දර්ශකයෙන් බලාපොරොත්තු වුයේ මූලිකවම ජනතාවගේ යහපැවැත්ම (welbeing) පිලිබඳ අධ්‍යයනය කිරීමයි. එහෙත් මුල්කාලීනව මානව සංවර්ධන දර්ශකය ගණනය කිරීමට යොදා ගත් මූලික සාධකයන් වර්තමානය වන විට ඇතැම් වෙනස්කම්වලට භාජනය කර තිබේ. උදාහරණයක් ලෙස වසර 2010 පෙර පැවතී දර්ශකයෙන් අධ්‍යාපන දර්ශකයට සාක්ෂරතා අනුපාතය සලකා බලනු ලැබූ අතර නව දර්ශකය යටතේ (වසර 2010න් පසු) ඒ සඳහා සලකා බලනු ලබන්නේ පාසල් යාමේ මධ්‍යනය වසර සහ පාසල් යාමට අපේක්ෂිත වසර ගණන යන සාධකය යි.

මානව සංවර්ධන දර්ශකය යනු කුමක්දැ’යි නිර්වචනය කළහොත්,- මානව සංවර්‍ධන දර්‍ශකය (මා.සං.ද) (Human Development Index) (HDI) යනු රටවල්වල ආයුෂ අපේක්ෂාවඅධ්‍යාපනය, හා ප්‍රතිශීර්ෂ ආදායම පෙන්වන දර්ශකයන් අනුව ලොව රටවල් මානව සංවර්ධන අවස්ථා හතරකට වර්ග කරන්නා වූ සංයුක්ත සංඛ්‍යානමය දර්ශකයකි.

ඒ අනුව දිගු හා යහපැවැත්ම ගණනය කරනු ලබන්නේ උපතේදී ආයු අපේක්ෂාව යන දර්ශකය ඇසුරෙනි. ඒ අනුව රටක කෙනෙකු උපදින විට සාමාන්‍ය වශයෙන් ඔහු ජීවත් විය හැකි වසර ගණන සංඛ්‍යාන විද්‍යාත්මකව ගණනය කරනු ලබයි.  ඒ ඔස්සේ ජීවන අපේක්ෂා දර්ශකය ගණනය කෙරේ.

අධ්‍යාපනය යන්න ගණනය කරන්නේ අවම වශයෙන් පාසල් යාමට කෙනෙකු බලාපොරොත්තු වන වයස හා සාමාන්‍යයෙන් පාසල් යාමේ වසරවල මධ්‍යයනය යන සාධකයන්  සැලකිල්ලට ගැනීමෙනි. මේ අනුව අධ්‍යාපන දර්ශකය ගණනය කෙරේ.
යහපත් ජීවන තත්වය යන්න ගණනය කරනු ලබන්නේ  දල ජාතික ආදායම ඇසුරෙනි. ඒ අනුව  මිලදී ගැනීමේ හැකියාව අනුව වන ප්‍රතිශිර්ෂ ජාතික ආදායම සළකා බලනු ලැබේ. (ppp-purchasing power parity) ඒ අනුව ගණනය කෙරෙන දර්ශකය  ප්‍රතිශිර්ෂ ජාතික ආදායම් දර්ශකය යි. (GNI).

ඉහත සාකච්ඡා කරන ලද , ජිවන අපේක්ෂා දර්ශකය, අධ්‍යාපන දර්ශකය හා ප්‍රතිශිර්ෂ ජාතික ආදායම් දර්ශකය යන දර්ශක තුන පදනම් කර ගනිමින් මානව සංවර්ධන දර්ශකය ගණනය කරනු ලැබේ.
පහත දැක්වෙන සටහන අංක 01 මගින් මෙම දර්ශක ගණනය පිලිබඳ සරළ සටහනක් පෙන්නුම් කරයි.

සටහන අංක 01 මානව සංවර්ධන දර්ශකයේ අංග




වර්තමානය වන විට ක්‍රියාත්මක වෙමින් පවතින්නේ ඉහත දර්ශකයන් ඔස්සේ ගණනය කරනු ලබන මානව සංවර්ධන දර්ශකය යි. ඉහත එක එක දර්ශකයන්ගේ අගය ඉහළ පහල යාම මත එක් එක් රටවල මානව සංවර්ධන දර්ශකයේ අගයද වෙනස් වීම් වලට ලක් වේ. මානව සංවර්ධන දර්ශකයේ අගය 0.000- හා 1.000 (බින්දුව හා එක) අතර පිහිටයි.

ඒ අනුව සංවර්ධන රටවල්  ප්‍රධාන කාණ්ඩ හතරකට බෙදේ.
 0.800- 1.000 ඉතා ඉහල මානව සංවර්ධනයක් පවතින රටවල්
            0.7000- 0.799  ඉහල මානව සංවර්ධනයක් පවතින රටවල්
            0.555- 0.699  පහළ මානව සංවර්ධනයක් පවතින රටවල්
             0.355- 0.554 ඉතා අවම මානව සංවර්ධනයක් පවතින රටවල්

වසර 2018 වන විට රටවල් 189ක් මෙම සංවර්ධන දර්ශකය ඔස්සේ සිය මානව සංවර්ධන දර්ශකය ගණනය කරනු ලැබේ.

ලෝකයේ රටවල් වල මානව සංවර්ධන අගයන්

වසර 2018 මානව සංවර්ධන දර්ශකය අනුව රටවල්  189ක් සඳහා වන අගයන් මානව සංවර්ධන වාර්තාවේ දක්නට ලැබේ. ඒ අනුව ඉහලම මානව සංවර්ධනය වාර්තා කරන රටවල් දහය විමසීමේ දී ඉහලම අගය වාර්තා කරන්නේ නොර්වේ රාජ්‍යයයි, එහි අගය 0.953කි.
පිලිවෙලින් සුවිස්ටර්ලන්තය (0.944), ඔස්ට්‍රේලියාව(0.939), අයර්ලන්තය(0.938), ජර්මනිය (0.936), අයිස්ලන්තය(0.935), හොංග්කොන්ග් (0.933), ස්වීඩනය(0.933), සිංගප්පූරුව(0.932), නෙදර්ලන්තය (0.931) මුලික රටවල් දහය අතර වේ. විශේෂත්වය වන්නේ හොන්කොන් හා ස්වීඩනය යන රටවල් දෙකම එකම අගයක්(0.933) වාර්තා කරමින් 7වන ස්ථානයට පත්ව තිබීමයි.

අවම මානව සංවර්ධනයක් සහිත රටවල් 10 අතුරින් 189 ස්ථානය හිමි කරගෙන 2018 වසරේ ඉතා අඩුම මානව සංවර්ධනය පෙන්නුම් කරන රට ලෙස නයිජර් Niger (0.354) මට්ටමේ රැඳී සිටී.  අනෙකුත් අවම මානව සංවර්ධන දර්ශකයන් වාර්තා කරන රටාවන් වන්නේ, පිලිවෙලින් (188 -සිට 180)
මධ්‍යම අප්‍රිකානු ජනරජය (0.367), දකුණු සුඩානය(0.388), චැඩ් (0.404), බුරුන්ඩි (0.417), සියෙරා ලියොන් (0.419), බුර්කිනා පාසෝ (0.423), මාලි (0.427), ලයිබීරියාව (0.435), මොසැම්බික් (0.437) යන රාජ්‍යයන් වේ.

ශ්‍රී ලංකාව මානව සංවර්ධන දර්ශකයට අනුව කොතනද?

2018 මානව සංවර්ධන දර්ශකයට අනුව ශ්‍රී ලංකවට හිමිව තිබෙන්නේ 76 වන ස්ථානයයි. ඒ අනුව මානව සංවර්ධන දර්ශකයේ ශ්‍රී ලංකාවේ අගය 0.770 කි. ඒ අනුව ශ්‍රී ලංකාවේ ආයු අපේක්ෂණ දර්ශකය වසර 75.5කි.  එමෙන්ම අපේක්ෂිත පාසල් යාමේ වසර ගනන 13.9 කි. සමස්ත පාසල් යාමේ මධ්‍යයනය, පාසල් යාමේ වසර ගණන 10.9කි. මිලදී ගැනීමේ හැකියාව මත ගණනය කරන ලද ඒක පුද්ගල ආදායම (ප්‍රති ශිර්ෂ ජාතික ආදායම) ඩොලර් 11,326කි.

ශ්‍රී ලංකාව දකුණු ආසියාව තුල ඉහලම මානව සංවර්ධන දර්ශකය පෙන්නුම් කරන රට බවට පත් ව තිබේ.
ශ්‍රී ලංකාව 76 (0.770) මාලදිවයින 101 (0.717), ඉන්දියාව 130 (0.640),  භූතානය 134 (0.612) බංගලාදේශය 136 (0.608) නේපාලය 149 (0.574), පාකිස්ථානය  150  (0.562) ඇෆ්ගනිස්ථානය 168 (0.498) යන අගයන් වාර්තා කර තිබේ.
ලොව අනෙකුත් ආර්ථිකයන්  විමසීමේදී  චීනය 86. (0.752) ස්ථානය ලබා ගෙන තිබෙන අතර ජපානය (0.909) අගය වාර්තා කරමින් 19 වන ස්ථානය ලබාගෙන තිබේ.



මානව සංවර්ධන දර්ශකයේ වාසි සහ අවාසි තත්වයන්
මානව සංවර්ධන දර්ශකය ආර්ථිකයන්ගේ මානව සංවර්ධනය මැනීමට භාවිත කරන දර්ශකයක් ලෙස යොදා ගැනුනද එහි වාසි මෙන්ම අවාසි දායක තත්වයන්ද හඳුනා ගත හැකිය.

වාසි
Ø  සංවර්ධනය මැනීමේ පොදු දර්ශකයක් වශයෙන් ලොව පුරා භාවිත වීම.
Ø  ඒ ඔස්සේ අධ්‍යාපන, සෞඛ්‍ය ආදී යටිතල පහසුකම් දියුණු වීම.
Ø  එමගින් ආර්ථික සංවර්ධනය පමණක් නොව අනෙකුත් සමාජ සංවර්ධන අංශයන්ද නියෝජනය වීම.
Ø  එමගින් ආර්ථික ප්‍රතිපත්ති සහ තීරණ කෙරෙහි නීති සම්දපාදකයන්ට ඉලක්කයක් ලබාදීම-ප්‍රතිශිර්ෂ ජාතික ආදායම ඇසුරෙන්
Ø  ගණනය කිරීමේ පහසුව.සංකීර්ණ දර්ශක ඇතුලත් නොවීම
Ø  පුද්ගලයන්ගේ පුද්ගල මට්ටමින් ගණනය කිරීම. (ආර්ථිකය සමස්තයක් ලෙස නොව එක පුද්ගලයකු ලෙස එක පුද්ගලයකුට කොපමණද වශයෙන් ගණනය කිරීම)
Ø  රටක ආර්ථික හා සංවර්ධන දර්ශකය පෙන්නුම් කරන දර්ශකයක් වීම.

අවාසි

Ø  එක එක රටවල් සඳහා විවිධ අගයන් හා විවිධ වෙනස්කම් පැවතීම.
Ø  දර්ශකය මගින් දිගුකාලීන වෙනස්කම් පමණක් පෙන්නුම් කිරම හා එමගින් කෙටිකාලීනව ආර්ථිකයේ වෙනස්කම් අධ්‍යයනය නොවීම.
Ø  රටක සුභසාධනය පිළිබඳ පැහැදිලි තත්වයක් පෙන්නුම් නොකිරීම. (අනෙකුත් සංවර්ධන තත්වයන් අධ්‍යයනය නොවීම)
Ø  ආර්ථිකයක අංශ කිහිපයක් පමණක් ආවරණය වීම
Ø  ආර්ථිකයේ අසමානතාව පෙන්නුම් නොකිරීම,(ප්‍රතිශිර්ෂ ආදායම ගණනය කිරීමේදී සම්පත් බෙදීයාමේ අසමාන බව නොසැලකීම)
Ø  ආර්ථිකයන් වල පවතින විවිධත්වය මත අදාල ගුනකයන්ගේ වෙනස්කම් පැවතීම
Ø  තිරසාර සංවර්ධන අධ්‍යයන මිනුමක් නොවීම.

ඉහත දක්වන ලද්දේ මානව සංවර්ධන දර්ශකයේ පවතින වාසි හා අවාසි කිහිපයක් පමණි.

කෙසේ වෙතත් ලොව විවධ මිනුම් සංවර්ධනය මැනීමට භාවිත වන අතර මානව සංවර්ධන දර්ශකය යනු ඒවා අතුරින් එකක් පමණි. මානව සංවර්ධන දර්ශකය ආර්ථිකයන්ගේ තත්වය මැනීමට යොදා ගැනිම පිළිබඳව වන විවේචනයන්ද නැතුවාම නොවේ.
කෙසේ වෙතත් ලොව සංවර්ධනය, විශේෂයෙන්ම මානව සංවර්ධනය මැනීම කෙරෙහි අදවන විටත් මෙම මානව සංවර්ධන දර්ශකය භාවිත වේ.

                                                                  ****

මානව සංවර්ධන දර්ශකය 2018 Report http://hdr.undp.org/en/2018-update  පිවිසෙන්න.
සේයා රුව අන්තර්ජාලයෙනි.

Comments

Popular posts from this blog

ගෝලීය ත්‍රස්‌තවාදයේ දේශීය බලපෑම හා ආර්ථික අස්ථාවරත්වය