රටක කෘෂි ආර්ථිකයට
හිමි තැන එම ආර්ථිකයේ ශක්‍යතාවය තීරණය කරන්නේද?
සටහන - ඉසුරු සම්පත්
තෙන්නකෝන්

ආර්ථිකයක ප්‍රධානතම ආදායම් එම ආර්ථිකයේ සමස්ත
නිෂ්පාදිතයයි. වෙනත් අයුරින් දක්වන්නේ නම් එම ආර්ථිකයේ දළ දේශීය නිෂ්පාදිතයයි. එනම්
කිසියම් නිශ්චිත කාලයක් තුළ, එම ආර්ථිකය තුළ නිපදවෙන ලබන සමස්ත භාණ්ඩ හා සේවා ප්‍රමාණය
යි. දළ දේශීය නිෂ්පාදිතය ගණනය කිරීමේදී ප්‍රධානතම ආර්ථික අංශ තුනක් සළකා බලනු ලැබේ.
ඒවා කෘෂිකාර්මික අංශය, කාර්මික අංශය හා සේවා
අංශය වන අතර, එම එක් එක් අංශයන් සමස්ත නිෂ්පාදිතයට වන දායකත්වය අනුව ආර්ථිකයේ දළ දේශීය
නිෂ්පාදිතය සමන්විත වේ.
ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයෙන් ආර්ථිකයට දැනට දක්වන දායකත්වය
ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් ලෙස බොහෝ අවස්ථාවලදී
හඳුනා ගැනෙන්නේ අතීතයේ සිටම බහුතරයක් වූ පුරවැසියන්ගේ ජිවනෝපාය කෘෂි කර්මාන්තය හෝ ඊට
සම්බන්ද සෘජු හෝ වක්‍ර රැකියා ආශ්‍රිත වන හෙයිනි. සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ කෘෂි කාර්මික
ජනගහනය මිලියන 21 ඉක්මවයි. 2017 වසරේ ජන හා
සංඛ්‍යාලේඛන වාර්තා අනුව මෙරට සමස්ත ජනගහනයෙන්,
සේවා නියුක්ත ජනහනය අසු දෙලක්ෂය ඉක්මවයි (8,208,179 – 2017 ජන හා සංඛ්‍යාලේඛන දත්ත). එම සමස්ත ප්‍රමාණය එක එක අංශ වල සේවා නියුක්තිය පහත පරිදි
වේ. ඒ අනුව කෘෂිකාර්මික අංශයේ සමස්ත සේවා නියුක්ත
ජනගහනයෙන් සියයට 26.1ක් සේවා නියුක්ත වන අතර
කාර්මික අංශයේ සියයට 28.4ක් සේවා නියුක්ත වේ.
සමස්ත සේවා නියුක්ත ජන සංඛ්‍යාවෙන් සියයට 45.5ක් සේවා නියුක්තවන්නේ
සේවා අංශයේ ය. ඒ අනුව පෙනී යන්නේ
සමස්ත වැඩකරන ජනතාවගෙන් හතරෙන් එකකටත් වැඩි ප්‍රමාණයක් කෘෂි කාර්මික අංශයේ සේවා නියුක්ත
වන බවයි.
වසර 2017 දී මෙරට ආර්ථිකය කෙරෙහි එක් එක් අංශයන්
විසින් දක්වන ලද දායකත්වය සළකා බැලීමේදී පෙනී යන්නේ කෘෂිකර්මාන්තයේ දායකත්වය සියයට
7.8ක පමණ වන බවය. එමෙන්ම කර්මාන්ත අංශයේ දායකත්වය 30.5% කි. සියයට 61.7%ක දායකත්වයක් සමස්ත අයභාරය කෙරෙහි සේවා අංශය දක්වා තිබේ. මේ අනුව පෙනී යන කරුණක්
වන්නේ සේවා නියුක්ත ජන සංඛ්‍යාවෙන් තවමත් සැළකිය යුතු ප්‍රමාණයක් කෘෂිකාර්මික අංශයේ
සේවා නියුක්ත වුවත් කෘෂි අංශයෙන් සමස්ත ආර්ථිකයට දක්වන දායකත්වය සැළකිය යුතු අවම මට්ටමක්
වීමයි. පසුගිය වසර කිහිපයක මෙම දායකත්ව ප්‍රතිශතය විමර්ශනය කළහොත් වසරින් වසර කෘෂි
අංශයේ දායකත්වය අවම වීමක්ද හඳුනා ගත හැකිය.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ අපනයන අධ්‍යයනය
කිරීමේදී සැලකියයුතු අපනයන ප්‍රමාණයක් කෘෂි නිෂ්පාදන ආශ්‍රිතව සිදුවේ. තේ, පොල්, රබර්
මෙන්ම අනෙකුත් සුළු අපනයන ඒ අතර හඳුනාගත හැකිය. කෙසේ වෙතත් මෙම අපනයනයන් ප්‍රාථමික
අපනයනයන් ලෙස අපනයනය සිදු කෙරෙන හෙයින් ඒ ඔස්සේ ආර්ථිකයට එකතුවන ආදායමේ අඩුවීමක් සිදුවේ.
කෘෂි අංශය හා දරිද්‍රතාවය
ශ්‍රී ලංකාවේ, කෘෂිකර්මාන්තය හා දරිද්‍රතාවය
කිසියම් සමීප සම්බන්ධයක් පවතින අංශ දෙකක් බව පෙනී යන කරුණකි. විශේෂයෙන්ම කෘෂිකර්මාන්තයේ
නියුතු පවුල් දරිද්‍රතාවය කෙරෙහි අවදානම් සහිත පවුල්
(vulnerable families) ලෙසද හඳුනාගැනීමක්
කළ හැකිය. ඒ සඳහා විවිධ හේතු
බලපාන බව අධ්‍යයනයේදී පෙනී යයි. විශේෂයේම කෘෂි නිෂ්පාදන සඳහා නියමිත මිළ හා වෙළඳපොළ
නොලැබීම, කාලගුණික හා දේශගුණික හේතු මෙන්ම යෙදවුම් මිල ඉහළ යාම, කෘෂි ඵලදාව අවම වීම ආදී විවිධ හේතු බලපාන බව පෙනී යයි.
වසර 2016 ජන හා නිවාස සංගණන වාර්තාවට අනුව මෙරට
සමස්ත දිළිඳු පුද්ගලයන් සංඛ්‍යාව අටලක්ෂ හතලිස් හතර දහසක (844,000) ප්‍රමාණයකි. ඒ අනුව
එය වසර 2012/13 වාර්තා වූ දිළිඳු ජනගහනයට වඩා
සැලකිය යුතු අඩු වීමකි. වසර 2012/13 කාලයේදී
මෙරට සමස්ත දිළිඳු ජන ප්‍රමාණය දහතුන් ලක්ෂ
තිස් නවදාහක් (133,9000ක්) දිළිඳු පුද්ගලයන් ප්‍රමාණයක් වාර්තාවිය.
මෙම ප්‍රමාණයන් අතරිනුනුත් සබරගමුව, ඌව
නැගෙනහිර හා උතුර යන පළාත් සැලකියයුතු මට්ටමක දරිද්‍රතා මට්ටම් වාර්තා කර තිබේ.
උක්ත පළාත් බොහොමයක් කෘෂිකර්මාන්තය මූලික වූ ප්‍රදේශ වන අතර දරිද්‍රතාවයද ඊට සමගාමීව
සැලකියයුතු ඉහල මට්ටමක් පෙන්නුම් කරයි.
ආර්ථිකයකට කෘෂි අංශයක් අවශ්‍යයද?
කෘෂි අංශයක් ආර්ථිකයකට අවශ්‍යද යන පැනයට මගේ
පිළිතුර වන්නේ “ඔව්, අවශ්‍යයි” යන්නයි. එයට හේතුව වන්නේ රටේ මූලික නිෂ්පාදන
ක්‍රියාවලියට පදනම සපයනු ලබන්නේ කෘෂිකර්මාන්තය හා කෘෂි නිෂ්පාදන වීමයි. ප්‍රාථමික යෙදවුම්
බොහොමයක් කෘෂි කර්මාන්තය ඇසුරෙන් සපයන අතර අනෙකුත් අංශ කෙරේ ඒ ඔස්සේ අවශ්‍ය සම්පත්
සැපයීමක්ද සිදුවේ. රටක ජනතාවගේ මූලික අවශ්‍යතාවය වන ආහාර සැපයීම කෙරෙහි කෘෂි අංශයේ
පැවැත්ම අනිවාර්ය වේ. එමෙන්ම ආර්ථිකයක් තවත් රටක් මත යැපීම වළක්වාලීමට එම දායකත්වය
වැදගත් වේ.
නමුත් මෙහිදි ඉතාමත් වැදගත් කරුණක් වන්නේ කෘෂි
ආර්ථිකයේ ඵලදායිතාවය හා කාර්යක්ෂමතාවය යි. ඉතා විශාල සම්පත් සම්භාරයක් වැයකොට අවම ආදායමක්
ලැබීමේ තත්වයක් පවතින්නේ නම් වහාම නිවැරදි තාක්ෂනය හෝ කාර්යක්ෂමතාව දියුණු කරමින් ඵලදායිතාවය
වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය වේ. එසේ නොමැතිනම් වෙනත් ක්‍රියාමාර්ග වෙත යා යුතුමය.
විශේෂයෙන්ම ආර්ථිකයක නිෂ්පාදනයට හෝ ආනයනයට පවතින සාපේක්ෂ වාසි පිළිබඳ අවධානයත් මෙහිදී
වැදගත් කරුණකි. සාපේක්ෂ වාසි යනු කිසියම් රටකට තවත් රටකට සාපේක්ෂව භාණ්ඩ අඩු පිරිවැයට
නිපදවිය හැකිනම්, එම රට එම භාණ්ඩ නිපදවීමත්, රටේ එම භාණ්ඩය නිපදවීමේදී පිරිවැය ඉහළනම්,
පිරිවැය අඩු රටකින් තම රටට එම භාණ්ඩය ගෙන්වා ගැනීමත් ලෙස සරළව දැක්විය හැකිය.
එහෙත් සාපේක්ෂ වාසි පමණක් සළකා බලමින් රටකට ආවේනික කෘෂි ක්‍රමවේදයන් තුළින් බැහැර නොවිය යුතු අතර වියයුත්තේ
එම ක්‍රම වේදයන් නවීකරණයට භාජනය කරමින් ඉදිරියට යාමයි.
කෘෂි කර්මාන්තය කෘෂි ව්‍යවසායකත්වය දක්වා සංවර්ධනය
කළ යුත්තේ ඇයි?
කෘෂිකර්මාන්තය ආර්ථිකයකට ආහාර සපයන මූලිකම පදනමයි.
එම ආර්ථිකයේ කෘෂිකර්මාන්තයේ නියුතු වන්නා ආර්ථිකයට ශක්තියකි. සංවර්ධිත රටවල පවා කෘෂිකර්මාන්තය
තවමත් පවතී. එහෙත් ලොව බොහෝ සංවර්ධිත රටවල කෘෂිකර්මාන්තයෙන් සමස්ත නිෂ්පාදිතයට දක්වන
දායකත්වය පවතින්නේ 1% - 3% ආදී තත්වයේ ය.. එහෙත් එම ආර්ථිකයන් සිය කෘෂි නිෂ්පාදන රටාව
මනාව කළමනාකරණය කරමින් එහි ඵලදායිත්වය ඉහල නංවා ගනිමින් මෙහෙයවයි. නෙදර්ලන්තය,
ජපානය වැනි ආර්ථිකයන් තුළ කෘෂි කර්මාන්තයේ නියුතු වන්නන් සමාජයේ ඉතා ඉහළ ආදායම් ලබන
තත්වයක් දක්නට ලැබේ. විශේෂයෙන්ම මේ සඳහා හේතු වී තිබෙන්නේ එම ආර්ථිකයන් කෘෂි අංශය කෙරෙහි සිදු කරන ලද ප්‍රතිසංස්කරණයන් ය. නව තාක්ෂනය භාවිතය ඔස්සේ
ඉහල ඵලදායිතාව අත්කර ගැනීමත්, අගය එකතු කරන ලද නිෂ්පාදන විබේධනයකට භාජනය කිරීමත් මෙහිදී
සිදු කළයුතු අත්‍යවශ්‍ය කරුණකි. එසේම අතිරික්ත ශ්‍රමය ඵලදායි ලෙස කාර්මික හෝ සේවා අංශය
වෙත යොමු කිරීමට නිවැරදි ක්‍රමවේද හා සැලසුම් ක්‍රියාත්මක කිරීමද අතිශය වැදගත් කරුණකි.
එවැනි සාර්ථක ප්‍රතිසංස්කරණයන් ශ්‍රී ලංකාව තුළ
පවා සිදුකිරීමේ ඉඩකඩ පවතින අතර ඒ සඳහා ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමුවීම අත්‍යවශ්‍යම
කරුණකි. මා නිතරම යෝජනා කරන්නේ කෘෂි ව්‍යවසායකයන් ගොඩ නැංවීමට ආර්ථිකය තුළ ශක්‍යතාවය
පවතින හෙයින් ඒ සඳහා යොමු වීම වැදගත් වන බවයි. එවැනි අවස්ථාවක තව දුරටත් ආර්ථිකයක කෘෂිකර්මාන්තයේ
නිරතවන්නන් දිළිඳුභාවයට පත් නොවන අතර ස්ව ශක්තියෙන් නැගී සිටීමේ හැකියාව ඔහුට හිමිවේ.
මේ අනුව මා මෙම කතිකාව මුලින්ම ආරම්භ කරන ලද
තැනට යලිත් ඔබගේ අවධානය යොමු කරමි. රටක කෘෂි
කර්මාන්තය එම ආර්ථිකයේ ශක්‍යතාවය තීරණය කරන්නේද? යන්න නැවත විමසා බැලුවොත් පෙනී යන්නේ
සැබවින්ම රටක ආර්ථිකයේ ශක්‍යතාවය තීරණය කිරීමට ගුණාත්මක කෘෂිකර්මාන්තය දායකත්වය දක්වන
බවයි. අප අද දිනයේ පවා පරිභෝජනය කරන ආනයනික බොහෝ කෘෂි නිෂ්පාදන පවා ඒ එක් එක් රටවල
කෘෂි නිෂ්පාදනයන්ගේ ප්‍රතිඵලයන්ය. ඒ අනුව අනාගතය වඩා සුභදායි වන්නට නම් ආර්ථිකයක කෘෂිකර්මාන්තයටද
නියමිත ස්ථානය හිමිවිය යුතුමය. ඒ සඳහා සිදු කළ යුතු වන්නේ විද්‍යාත්මක හා තාක්ෂණික ක්‍රම වේදයන් ඔස්සේ
වන ප්‍රතිසංස්කරණයකි.
Comments
Post a Comment