කොරෝනා සමග  2021 ආර්ථික සටන

සටහන ; ඉසුරු සම්පත් තෙන්නකෝන්

කොවිඩ් 19 නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලෝකය වෙලාගත් ව්‍යවසනයක් බවට පත්ව තිබේ. ලෝකයේ ආර්ථික මට්ටමින් ශක්තිමත් රටවල සිට ඉතා දිළිඳු ආර්ථිකයන් පවතින රටවල් දක්වාම මෙම වෛරසයේ බලපෑම නොවඩුව ලැබෙමින් පවතී. වෛරසය නිසා ආර්ථික දේශපාලනික මෙන්ම සෞඛ්‍ය අවදානමකට මුලු මහත් ලෝකයම පත්ව තිබෙන බව අමුතුවෙන් කිවයුතු නොවේ.

චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වී ඉනික්බිති යුරෝපය හා අප්‍රිකාවත්, ආසියාවත් ආක්‍රමණය කරමින් වර්ධනය වූ මෙම ව්‍යවසනය නිසා බලවත්ම පීඩාවට පත් වූ රාජයන් අතරට ඇමරිකාව,රුසියාව,ඉතාලිය ,ජර්මනිය මෙන්ම අප අසල්වැසි ඉන්දියාවද පත්ව ඇත. ලොව අනෙකුත් සියලුම රටවල් වලද සැලකියයුතු රෝගීන් ප්‍රමාණයක් මේ විට වාර්තාවෙමින් පවතින අතර, මේ තත්වයන් සමස්ත මානවයාගේ ආර්ථික ක්‍රියාකාරකම් පමණක් නොව මානව සංහතියේ පැවැත්මටද අභියෝගයක් වෙමින් පවතී.

2021 ජනවාරි ආරම්භය වන විට ශ්‍රී ලකාවේ වාර්තාවන රෝගීන් සංඛ්‍යාව පනස් දහසට ආසන්න වෙමින් පවතින අතර මේ වන විටත් කොරෝනා රෝගී තත්වය බලපෑමෙන් මිය ගිය පිරිස දෙසියය ඉක්මවා ඇත. අතෙකින් ජන ජීවිතය අභියෝගයට ලක් වෙමින් සියලු ආර්ථික ක්‍රියාකාරකම් සැලකියයුතු ලෙස අඩාළ වී තිබේ. තවත් අතෙකින් එදිනෙදා ආර්ථික ක්‍රියාකාරකම් සැලකිය යුතු මට්ටමින් සිදු නොවීම හේතුවෙන් හා ආර්ථික අයභාරයන් අඩාළ වීමෙන් ආර්ථිකය තුල ආර්ථික අර්බුදයක් ගොඩ නැගෙමින් පවතී. තවත් අතෙකින් රජය අවශ්‍ය පහසුකම් සැපයීම සහ ආර්ථිකය අඛණ්ඩව පවත්වා ගැනීමට දරන උත්සාහයන් හමුවේ රජයේ අයභාරය සැලකියයුතු මට්ටමකට අවම වෙමින් පවතී.  අයභාරය අවම වුවත් රජයේ වර්තන වියදම් හා ණය සේවාකරන වියදම් අඛණ්ඩව දැරීමට සිදුවනු ඇත. සියල්ල එසේ තිබියදීත් ආර්ථිකයේ ණයබර සැලකියයුතු මට්ටමකින් වර්ධනය වෙමින් පවතීන අතර අඛණ්ඩව විදේශයන් වෙත ගෙවිය යුතු ණය වාරික හා ණය සේවාකරන මුදල් ඉහළ ගොස් තිබේ. මේ සියලු අභියෝග මැද 2021 වසර උදා වන්නේ ආර්ථික සටනකට සැරසෙන වසරක් බවට පත් වෙමිනි.

ශ්‍රී ලංකාව විදේශ ණය වාරික නැවත ගෙවීමේ සඳහා සැලකියයුතු මුදලක් 2021 සිට යෙදවිම අනිවාර්ය වී තිබේ. ඒ අනුව ලොව ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන  ෆිච් රේටින්ග්ස් ආයතනය විසින් ලංකාවේ ණය ගෙවීමේ තිරසාරත්වය අභියෝගයකට ලක්ව තිබෙන බව 2020 නොවැම්බරය වන විට වාර්තා කර තිබේ. ඒ  අනුව මෙතෙක් ලංකාව වෙත දිගු කාලීන විදේශ මුදල් නිකුත් කරන්නන්ගේ පෙර ශ්‍රේණිගත කිරීම (IDR)  ණය ශේණිගත කිරීමේ අගය බී 'B  සිට සී සී සී 'CCC'  මට්ටම තත්වය දක්වා අඩු කර තිබේ.  ඒ අනුව වසර 2021 සිට 2025 දක්වා ඇමරිකානු ඩොලර් බිලියන 23.2ක ට අධික මුදලක් නැවත ආපසු ගෙවීමට පවතින බවත් එහි වාර්ෂික අගය ඩොලර් බිලියන හතර ඉක්මවන බවත් වාර්තා කර තිබේ.  ලංකාවේ පවතින විදේශ සංචිතයන්ද ඇමරිකානු ඩොලර් බිලියන 5.9ක පමණ මට්ටමක පවතින බවත් ඒ අනුව වාර්තා කර තිබේ.  මේ අනුව 2021 වසර විදේශ ණය නැවත පියවීම යටතේ ඉතාමත් අභියෝගාත්මක වසරක් බව පෙනී යයි.                            

අදාල ලිපිය වෙත ( https://www.fitchratings.com/research/sovereigns/fitch-downgrades-sri-lanka-to-ccc-27-11-2020 ) ඔස්සේ පිවිස වැඩිදුර විස්තර ලබා ගත හැකිය.

ආනයනික භාණ්ඩ හා සේවා

මෙරට ආර්ථිකයේ ආනයන හා අපනයන අංශයන් කොරෝනා තත්වය හමුවේ දැඩි පීඩනයකට පත්ව තිබෙන බව පුල පුලා කිව යුතු කරුණක් නොවේ. මෙරට පරිභෝජන  භාණ්ඩයන්ගෙන් සැලකියයුතු ප්‍රමානයක් ආනයනික භාණ්ඩ ලෙස හඳුනා ගත හැකිය. කොරෝනා තත්වය මත සැලකියයුතු ලෙස ආනයන සීමා කිරීම් කරනු ලැබූ අතර අත්‍යාවශ්‍යම භාණ්ඩ හා සේවා පමණක් ආනයනය කිරිම කෙරෙහි රජයේ අවධානය යොමුවිය. විශේෂයෙන්ම මෝටර් රථ ආනයනය  සැලකියයුතු කාල සීමාවක් දක්වා සීමා කිරීමට කටයුතු කරනු ලැබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙරට වාහන වෙළඳපොල මිල ගණන් සැලකියයුතු ඉහළ යාමක්ද මේවන විට  පෙන්නුම් කරයි.

විදේශ රැකියා ගැටලුව. 

මේ අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ තොරතුරු අනුව මෙරටින් විදේශ රට වල ගොස් රැකියා නියුක්ති සංඛ්‍යාව මිලියනය ඉක්මවයි. එම සංඛ්‍යාවෙන්  සැලකියයුතු පිරිසක් මැදපෙරදිග සේවයේ යෙදෙන අතර, කොරියාව, ජපානය මෙන්ම ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඇමෙරිකාව  ආදී රටවලද සැලකියයුතු ප්‍රතිශතයක්  සේවයේ යෙදෙන බව පෙනී යයි. කොරෝනා තත්වය හමුවේ විදේශගත රැකියා කරන්නන්ගේ රැකියා අහිමිවීමත් සමග නැවත ඔවුන් ලංකාව වෙත  ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවය මතුව තිබෙන අතර එම රැකියා අහිමි වීම් තත්වයන් ඉදිරි ආර්ථිකය තුල සැලකිය යුතු බලපෑමක් සිදු කරනු ඇත. එක අතෙකින් විදේශ විනිමය සම්පාදනය කෙරෙන ප්‍රධානතම මාර්ගයක් වූ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අහිමි වීමත්  සමග විදේශ විනිමය අනුපාතයේ සැලකියයුතු උච්චාවචනයන් අපේක්ෂා කරන අතර එය ගෙවුම් ශේෂයේ හිගය පුළුල් කිරීම කෙරෙහි සෘජුවම බලපානු ඇත. 2021 වසරේ ජනවාරි මාසයේ දෙවන සතිය වනවිටත් ඇමරිකානු ඩොලරයේ රුපියල් අගය රුපියල් 189 දක්වා ඉහළ යාමක් පෙන්නුම් කරයි. රජය විසින් සැලකියයුතු ලෙස අත්‍යවශ්‍යය නොවනයැ'යි තීරණය කරන ලද ආනයන පාලනය කිරීම ඔස්සේ විනිමය අනුපාතය පාලනයට උත්සහ දරමින් සිටි. ඒ අනුව ආනයන සීමා කිරීම විනිමය අනුපාතය පාලනය කිරීමෙන් රුපියල තව දුරටත් අවප්‍රමාණය වීම වැලැක්වීම කෙරෙහි ගෙනැති එක් උපක්‍රමයකි. කෙසේ වෙතත් විදේශ රැකියා අහිමි වීමෙන් මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගේ රැකියා පිලිබඳ ගැටලුව සැලකියයුතු ලෙස මෙරට ආර්ථිකයේ රැකියා හිගයක් නිර්මාණය කිරීම කෙරෙහි ඉදිරියේදී  අවදානම් තත්වයක් පෙන්නුම් කිරීමේ ඉඩකඩ පවතී.

දරිද්‍රතා උපනති



වසර 2016 ජන සංගණන වාර්තා අනුව මෙරට දරිද්‍රතා අනුපාතය සැලකියයුතු ලෙස පහල යාමක් පෙන්නුම් කරන අතර එය පසුගිය  සංගණන අගයේ සිට  4.1% දක්වා අවම වීමක් පෙන්නුම් කරනු ලැබීය. එහෙත් 2020 වසරේ මුල්භාගයේ සිට මෙරට කොරෝනා අවදානම හේතුවෙන් මෙම තත්වය සැලකියයුතු වෙනස්කම් වලට භාජනය වී තිබෙන බව පැහැදිලි කරුණකි. විශේෂයෙන්ම පැවති රටවසා දැමීමේ හා සංක්‍රමණ සීමා පැනවීමේ  තත්වය හමුවේ රැකියා අහිමි වීම්, ආදායම් අහිමිවීම් හා ජීවන තත්වය බිඳවැටීම් හේතුවෙන් සැලකියුතු පිරිසක් පීඩාවට පත්ව ඇත. එහෙයින් මෙතෙක් පැවතිව දරිද්‍රතා මට්ටමේ කිසියම්  වෙනස්වීමක් අපේක්ෂා කල හැකිය. අතෙකින් දිළින්දන් අන්ත දුගීභාවයට පත් වීමත්, මෙතෙක් දිළිඳු මට්ටමේ නොසිටි පවුල් දිළිඳු බවට ලක්වීමේ අවදානමත්  කිසියම් ඉහළ යාමක් අපේක්ෂා කලහැකිය. මෙරට දිළිඳුකම පිටුදැකීමේ කටයුතු වලට අදාළ ක්‍රියාකාරකම් හා  දිළිඳු සහන රජය මගින් ක්‍රියාත්මක කරනු ලැබුවත්, ඒවායේ ප්‍රතිලාබ නිසි පරිදි නොලැබීම හෝ  හා ඒවා මනා ලෙස සංවිධානය නොවීම නිසා මේ තත්වය කෙරෙහි මෙම තත්වය තවදුරටත් සංකීර්ණ වීමේ හැකියාවක් ද නැතුවාම නොවේ. 2021 වසරේ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන වියදම් කෙරෙහි වැඩි වියදමක් දැරීමට රජයට සිදුවනු ඇත.

අධ්‍යාපනය, සෞඛ්‍යය ආදී සේවා

අධ්‍යාපන ක්ෂේත්‍රය  තුල මෙතෙක් නොපැවති අභියෝගයක් උදාව තිබේ. මෙම වසංගතය හමුවේ අධ්‍යාපන ක්‍රියාවලිය තරමක පසුබෑමකට ලක්වෙමින් පවතී. ඒ අනුව මේ වසර තුළ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, පාසල් පැවැත්වීම  හා ගුරුවරුන්ගේ රැකියා කටයුතු පිලිබඳ වැඩි අවදානයක් යොමු කිරීමට සිදුවනු නොවනුමානය. මෙරට 10,000 ඉක්මවන පාසල් ප්‍රමාණය අඛණ්ඩව පවත්වා ගෙනයාම කෙරෙහි අවදානමක් උදාවෙමින් පවතින අතරම  ග්‍රාමීය අංශයේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා සන්නිවේදන යටිතල පහසුකම් මෙන්ම ඔවුන්ගේ අධ්‍යාපනයේ තිරසාරත්වය කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීමේ අවශ්‍යතාවයක් මතුව තිබේ. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශ්වවිද්‍යාල ආදිය පවත්වා ගෙන යාම මෙන්ම ඒවායේ අධ්‍යාපන කටයුතු කෙරෙහිද වැඩි අවදානයක් යොමු කිරීමේ අවශ්‍යතාවය මතුවී තබේ. මෙම වසංගත තත්වය තුල එම ආයතන ක්‍රියාකාරිත්වය අඩාල නොකර පවත්වාගෙන යාම අනිවාර්යය වේ. මෙරට සෞඛ්‍යය ක්ෂේත්‍රය කොරෝනා තත්වය හමුවේ අඛණ්ඩව හා ශක්තිමත්ව පවත්වාගෙන යාමත් අවශ්‍ය ප්‍රතිශක්තීකරණ ක්‍රියාවලිය පවත්වාගෙන යාම කෙරෙහිත් වැඩි වශයෙන් රජයේ ප්‍රතිපාදන යෙදවීමේ අභියෝගය 2021 වසරේ රජය වෙත පැවරී ඇත. මේ සියල්ල සාර්ථකව සිදු කිරීම සඳහා රජයට ලැබෙන ජනතා බදු මුදල් කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය පවතින අතර රජයේ ඵලදායී ආයෝජන හා ඵලදායි ප්‍රතිපත්තිමය තීරණ මත ඒවායේ සාර්ථකත්වය තීරණය වනු නොවනුමානය.

ඒ අනුව ආර්ථික, දේශපාලනික සමාජයීය වශයෙන් මෙන්ම ජනතාවගේ යහපැවැත්ම කෙරෙහිද වන අභියෝගාත්මක වසරක් බවට 2021 වසර දැනටමත් පත්ව හමාරය. එහෙයින්  2021 කොරෝනා සමග ආර්ථික සටන තවත් අභියෝගාත්මක සටනක් වනු ඇත.

                                                      ****

සේයා රූ; අන්තර්ජාලයෙනි.- එම චායාරූපයන් හි අයිතිය ඒවායේ මුල් අයිතිකරුවන් සතුවේ.


Comments

Popular posts from this blog

ගෝලීය ත්‍රස්‌තවාදයේ දේශීය බලපෑම හා ආර්ථික අස්ථාවරත්වය