එලොව පොල් පෙනෙන පොල් මිල, ලංකාවේ පොල් නිෂ්පාධනය හා මිල පාලනය

සටහන ;  ඉසුරු සම්පත් තෙන්නකෝන්


පොල් වර්තමානයේ අපගේ ආර්ථිකය වඩාත් ජනප්‍රිය කතිකාවට භාජනය වූ භාණ්ඩයකි. ඒ ආර්ථිකය තුල සැලකියයුතු ලෙස මිල ගණන ඉහල යාමත්, එම තත්වය පාලනය කිරීම සඳහා පොල් ගෙඩියේ වට ප්‍රමාණය අනුව මිල නියම කිරීමේ උපරිම මිල පාලනයත් නිසාය. මේ ලිපියේ අවධානය යොමු වන්නේ මෙරට පොල් නිෂ්පාධනය, එහි ආර්ථික වටිනාකම මෙන්ම ඒ ආශ්‍රිත ආදායම් හා මිල පාලනයේ ප්‍රබලතා හා දුබලතා පිළිබඳවය.

වසර 1948 න් පසු මෙරට ආර්ථිකයේ ප්‍රධානතම ආදායම් උත්පාදකයා බවට මෙරට වාණිජ බෝග වගාවන් පත්විය. ඒ අතර තේ, පොල් හා රබර් අපනයනයේදී ශ්‍රී ලංකාවට සාපේක්ෂ වාසි පැවතුණි. එමෙන්ම මෙරට අපනයන ආදායම් සැලකිය යුතු ප්‍රතිශතයක් පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීමෙන් උත්පාදනය විය. එහෙත් පසුකාලීනව කෘෂි අපනයන සඳහා වන සාපේක්ෂ වාසි අවම වීමත් සමග එම නිෂ්පාධන වලින් ලංකාවට ලැබෙන ආදායම අඩු වීමට පටන් ගත්තේය. වර්තමානය වනවිට අපගේ මූලික අපනයන ආදායම් උත්පාදන මාර්ග ලෙස සාම්ප්‍රදායික අපනයන වල දායකත්වය අවම වී තබේ. එහෙත් තවමත් තේ, පොල්, රබර් ආදිය අපනයන අතර පවතී.

ලංකාවේ පොල්

ලංකාවේ  පොල් වගාව හා පොල් නිෂ්පාධනය වර්තමානයේ වඩා කතාබහට ලක් වුවකි. පොල් වල විද්‍යාත්මක නාමය කොකස් නුසිෆෙරා (Cocos nucifera) නම් වේ. පොල් වගාව සඳහා වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1300 -2300 දක්වා ලැබීම වඩා වැදගත් වේ. එමෙන්ම වාර්ෂික උෂ්ණත්වය සාමාන්‍යය සෙල්ෂියස් අංශක   27ක පැවතීම වඩා යෝග්‍යය  බව හඳුනා ගැනෙන අතර වාර්ෂික සුර්යාලෝකය පැය 2000ක් වියයුතු බව අධ්‍යයන වලින් හෙළි වී තිබේ. (http://www.slcarp.lk/wp-content/uploads/2019/01/Full-Book-Climate-Change_77.pdf)මෙවැනි කාලගුණික හා දේශගුණික තත්වයක් මත පොල් ශාකය වඩා හොඳින් වර්ධනය වී  වැඩි ඵලදාවක් ලබා දෙනු ඇත.

ශ්‍රී ලංකාවේ පොල් වඩා හොඳින් වගා වන්නේ උෂ්ණ දේශගුණයක් පවතින ප්‍රදේශයන් වලය. දකුණු පළාත, උතුරුමැද මෙන්ම බස්නාහිර පළාත ඒ අතර ප්‍රධාන  වේ. සාපේක්ෂව ලකාවේ සියලුම දිස්ත්‍රික්කයන්හි පොල් ශාකය වගා කිරීමේ හැකියාව පවතී. කොළඹ, කුරුනෑගල හා හලාවත යන ප්‍රදේශ පොල් ත්‍රිකෝණය ලෙස  ද හඳුන්වයි. ඒ අනුව සමස්ත නිෂ්පාධනයේ සාපේක්ෂව ඉහල ප්‍රමාණයක් මෙම දිස්ත්‍රික්ක තුන අතර විහිදී පවතී.

ශ්‍රී ලංකාවේ හෙක්ටයාර 440,000 ක පමණ පොල් වගා කෙරෙන අතර වාර්ෂික පොල් අස්වැන්න පොල් ගෙඩි මිලියන 2300 -3000 අතර වන බව ගණනය කර තිබේ. ශ්‍රී ලංකාවේ සමස්ත කෘෂි නිෂ්පාධන ප්‍රතිශතයෙන් 12% පමණ වන්නේ පොල් වගාවයි. මෙරට සමස්ත පොල් ඉල්ලුම සපුරාලනු ලබන්නේ මෙම නිෂ්පාදනයෙන් වන අතර  අතිරික්ත නිෂ්පාදනයන් අපනයනය කරනු ලැබේ. ශ්‍රී ලංකාව පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාධන අපනයනය කිරීමෙන් වසර 2018 වන විට ලබා තිබෙන මුළු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 588කි. මෙම ආදායම් සඳහා පොල් මද, පොල් තෙල් , පොල් ලෙලි ආශ්‍රිත නිෂ්පාදන මෙන්ම පොල් වතුර අපනයනයද ඇතුලත් වේ.

ඇත්තටම  මිල ඉහළ යන්නේ කොහොමද  ?

මෑතකාලීනව පොල් මිල ඉහල යාම කාගේත් කතිකාවට ලක් ව තිබෙන කරුණකි. පොල් මිල ඉහල යාම කෙරෙහි ප්‍රධාන වශයෙන් සාධක කිහිපයක්  බලපානු ලැබේ. ඒ අනුව  පොල් වෙළඳපල සඳහා තිබෙන පොල් සැපයුම අඩු වීම හෙවත් පොල් ඵලදාව අවම වීම ප්‍රධාන හේතුවකි. අනෙක් අතට පොල් සඳහා වෙළදපල තිබෙන ඉල්ලුම ඉහල යාමද බලපානු ලැබේ. පොල් නිෂ්පාධනය අවම වීමට කාලගුණික දේශගුණික තත්වයන් මෙන්ම පොල් වගාකරුවන් කර්මාන්තයෙන් ඉවත්විමද මූලිකව බලපායි. වතමානයේ ඉඩම් වෙළඳපොල දෙස අධ්‍යනය කිරීමේදී ඉඩම් සඳහා අධි ඉල්ලුමක් නිර්මාණය වී තිබෙන බව පැහැදිලිය. ඒ අනුව විශාල පොල් වතු ඉඩම් කට්ටි කර විකිනීමත්, විශාල වශයෙන් පොල් ගස් කපා දැමීමත් පොල් නිෂ්පාධනය අවම වීම කෙරෙහි මූලික හේතුවක් ව ඇත.

පොල් නිෂ්පාධනය ඉල්ලුම වැඩි වීමත් සමග ක්ෂණිකව සැපයුම ඉහල දැමිය හැකි නිෂ්පාධනයක් නොවේ. අදාළ ඉල්ලුම සපිරීමට අවශ්‍ය නිෂ්පාදන සැපයුමට කාලයක් ගත වේ. ඔබ අප ආර්ථික විද්‍යාවේදී  ඉගෙන ගත් පරිදි බොහෝ කෘෂි නිෂ්පාධන සඳහා පවතින්නේ අනම්‍යය සැපයුමකි. එනම් කෙටි කාලීනව නිෂ්පාදනය අඩු වැඩි කිරීමේ හැකියාව අවමය. අධි ඉල්ලුමක් පවතින අවස්තාවක් හෝ සැපයුම සීමා සහිත අවස්තාවක අනිවාර්යෙන්ම පොල් මිල ඉහල යනු ඇත. මෙම තත්වය පාලනය කිරීම සඳහා සිදුකල හැකි ප්‍රධානතම ක්‍රියාමාර්ගය වන්නේ අධි ඉල්ලුම සපුරාලීම සඳහා අදාළ භාණ්ඩය ආනයනය කිරීමයි. එසේම මිල පාලනය කිරීම සඳහා රජය විසින් උපරිම මිල පාලනයක් නියම කිරීම ද මෙහිදී සිදුවන ජනප්‍රියම ක්‍රියාවලිය යි.

මිල පාලනය කියන්නේ මොකක්ද ?

මිල පාලනය ලෙස හඳුන්වනු ලබන්නේ වෙළඳපොල ඉල්ලුම හා සැපයුම් බලවේග අනුව තීරණය වී තිබෙන මිල රජය මැදිහත් වී පාලනය කිරීමයි. මිල පාලනය ප්‍රධාන  වශයෙන් කොටස් දෙකකි. එක ක්‍රමවේදයක් වන්නේ අවම මිල පාලනය හෙවත් අවම මිලක් නිර්මාණය කිරීමයි. මේ සිදුවන්නේ බොහෝ විට නිෂ්පාදන සඳහා නිෂ්පාදකයන් වෙත සාධාරණයක් කිරීමටයි.  එය වෙළඳපොල දැනට තිබෙන මිලට වඩා වැඩි මිලකි. උදාහරණයක් ලෙස දැනට වෙළඳපොලේ වී කිලෝවක මිල රුපියල් 35ක් නම් රජය වී නිෂ්පාධකයන් දිරිමත් කිරීමටත්, අස්වැන්න සාධාරණව අලෙවි කිරීමටත් රුපියල් 40ක උපරිම මිලක් නියම කිරීම දැක්විය හැකිය.

උපරීම මිල රජය නියම කරනු ලබන්නේ වෙළඳපොල කිසියම් භාණ්ඩයක් වෙත පවතින මිල පාරිබෝගිකයන්ට අවාසි දායක බව හැඟී යන අවස්ථාවකදී ය. එවැනි අවස්ථාවක රජය තීරණය කරන මිල පවතින මිලට වඩා අඩු මිලකි. හාල්, සිනි පරිප්පු ආදිය සඳහා බොහෝ විට මෙම මිල පැනවීම සුලවබ වේ. උදාහරණයක් ලෙස රුපියල් සියයක් ලෙස වෙළඳපොල මිල නියම වී තිබෙන හාල් කිලෝවකට රුපියල් අසුවක් වන උපරිම මිලක් නියම කරනු ලැබේ. ඒ අනුව අදාළ හාල් කිලෝව විකිණිය හැක්කේ රුපියල් අසුවට පමණි. පොල් සඳහාද  පනවා තිබෙන්නේ මේ උපරිම මිල පාලනයයි. 

පොල් වැනි භාණ්ඩයක ප්‍රමාණය නිශ්චය කර ගැනීම අපහසු ය. උදාහරණයක් ලෙස කිලෝ, ලීටර් ආදියෙන් ඒකකයක වටිනාකම දැක්වීම අපහසු ය. එය ගණනය කෙරෙන්නේ ගෙඩි වටිනාකමිනි. ඒ අනුව පොල් ගෙඩියක මිල ලෙස පොල් මිල සටහන් වේ. පොල් ගෙඩියේ ප්‍රමාණය  විවිධාකාර වන නිසා වර්තමානයේ එම එක ගෙඩි වල ප්‍රමාණය අනුව මිල පාලනයක් සිදුකර තිබේ. ඒ පිළිබඳ විවිධ විවේචන පවතින අතර මෙම ලිපියේදී ඒවා සාකච්චා නොකෙරේ.

මෙවැනි මිල පාලනය තුල වාසි මෙන්ම අවාසි හඳුනාගත හැකිය.

උපරිම මිල පානයක් බොහෝ විට සිදු කරන්නේ පාරිභෝගිකයන්ගේ යහපත අරමුණු කරගෙන වුවද වෙළෙන්දන් අදාළ භාණ්ඩ තොග සඟවා හෝ අලෙවි නොකර සිටියහොත් අදාළ සහනය කිසිම අවස්තාවක ජනතාවට හිමි නොවේ. එහි ප්‍රතිඵලය වන්නේ වෙළඳ පොළ තුල භාණ්ඩ හිගයක් නිර්මාණය වීමයි. එමෙන්ම අදාළ භාණ්ඩ නිසි මිලට විකිණීම සිදුවීම නිරීක්ෂණය හා සොයා බැලීම වෙනුවෙන් ද අමතර අධික පිරිවැයක් දැරීමට සිදුවේ. එමෙන්ම බොහෝ අවස්ථාවලදී පවතින අධික ඉල්ලුම හා භාණ්ඩ හිගය නිසා උපරිම මිල අභිබවා ද  අලෙවි වීම දක්නට ලැබේ. එය කළුකඩ මිලක් නිර්මාණය වීම ලෙසද හඳුන්වයි.

කෙසේ වෙතත් මා දකින ආකාරයට මේ වෙළඳ පොළ නිර්මාණය වී තිබෙන පොල් හිඟය තාවකාලික තත්වයකි. සිදුවූ බොහෝ බලපෑම හමුවේ නිෂ්පාධන කර්මාන්තය කෙරෙහි අහිතකර බලපාම් සිදු විය. මෙම තත්වයන් ඉදිරියේදීත් ඇතිවීම අනිවාර්ය ය. ඒ සඳහා ආර්ථිකයක් ලෙස ගොඩ නැගීම හා සැලසුම් කිරීම අත්‍යවශ්‍යය ය. පොල් වගාව ආදී සියලු වගා සඳහා අමාත්‍යවරුන් වර්තමානයේ සිටින බව පෙනේ. ඔවුන්ගේ ප්‍රමුඛතම කාර්යය වියයුත්තේ මෙවැනි අභියෝග හඳුනා ගනිමින් අනාගත  සැලසුම් ක්‍රියාත්මක කිරීමය.

ඉඩම් වල භුමි ප්‍රමාණය ක්ෂය වෙමින් යන යුගයක නව පොල් ප්‍රබේධ හා නව වගා ක්‍රමවේද පර්යේෂණ සොයා ගැනීම් වෙත යොමු විය යුතුය. ලංකාවේ දැනට පවතින පොල් පර්යේශන ආයතන වල සම්පුර්ණ ධාරිතාව සහ සහයෝගය ලබා ගැනීම මෙහිදී වැදගත් වේ.  පොල් වගාව ප්‍රවර්ධනයටත්, දැනට පවතින පොල් ඉඩම් ආරක්ෂා කිරිමටත් නියමිත ක්‍රියා මාර්ග ගත යුතු සේම, අනාගත අභියෝග වෙනුවෙන් සුදානම් වීම කළ යුතුමය. එය පාලකයන්ට පමණක් නොව රටේ සමස්ත ජනතාවටම අදාළ වනු ඇත.

                           

                           *****

සේයා රූ  අන්තර්ජාලයෙනි 

Comments

Popular posts from this blog

ගෝලීය ත්‍රස්‌තවාදයේ දේශීය බලපෑම හා ආර්ථික අස්ථාවරත්වය