ජාතික නිපැයුම, ආනයන, අපනයන හා දේශීය කර්මාන්ත පිළිබඳ නව ආර්ථික ප්‍රතිසංස්කරණ කෙතරම් දුරට සුබවාදී ද?
සටහන-ඉසුරු සම්පත්
තෙන්නකෝන්
ශ්‍රී ලංකා ආර්ථිකයේ සමාහාර ආදායම හෙවත් සමස්ත ජාතික ආදායම 2018 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 88.9කි. ඒ අනුව සමස්ත ජාතික ආදායම මධ්‍ය වාර්ෂික ජනගහනයෙන් බෙදා දැක්වීමෙන් ලබා ගනු ලබන ඒක පුද්ගල ජාතික ආදායම ඇමරිකානු ඩොලර් 4.102ක් බවට වාර්තා විය. ඒ අනුව ශ්‍රී ලංකාව පහල මැදි ආදායම් තත්වයේ සිට ඉහල මැදි ආදායම් ලබන ආර්ථිකයක් දක්වා වර්ධනයක් වාර්තා විය. කෙසේ වෙතත් කොරෝනා වසංගතය සමග ලොව ආර්ථිකයන් බොහොමයකට ප්‍රබල බලපෑම් එල්ල වූ අතර ශ්‍රී ලංකාවද සැලකිය යුතු බලපෑමක් සිදුවූ බව නොරහසකි. ඒ අනුව මෙරට ආනයන අපනයන පමණක් නොව දෛනික ජනජීවිතය පවා සැලකියයුතු බලපෑමකට ලක් විය.
කොරෝනා තත්වය නිසා ආර්ථිකය නැවතත් පහල මැදි ආදායම් තත්වයට පසු බැස තිබෙන අතර පස්චාත් කොරෝනා අවදියක් තුළ නව මැතිවරණයකින් පත්වූ රජය විසින් ආර්ථික දේශපාලන හා සමාජ ප්‍රති සංස්කරණ රාශියකට මුල පුරමින් සිටි. මේ ලිපියෙන් කතිකා කෙරෙන්නේ මෙවැනි සන්දර්භයක් තුළ ජාතික නිපැයුම, ආනයන, අපනයන හා දේශීය කර්මාන්ත පිළිබඳ නව ආර්ථික ප්‍රතිසංස්කරණ කෙතරම් දුරට සුබවාදී ද? යන්න පිළිබඳව යි.
මුලින්ම අප ශ්‍රී ලංකාවේ ආනයන අපනයන සංයුතිය
පිළිබඳ සරල අවබෝධයක් ලබා ගනිමු. රටක් තවත් රටකින් සිය රටට ගෙන්වන ලබන භාණ්ඩ හා සේවා
ආනයන ලෙසත්, රටකින් තවත් රටකට අලෙවි කරන භාණ්ඩ හා සේවා අපනයන ලෙසත් අප සරලව හඳුනා ගනිමු.
උදාහරණයක් ලෙස අප සෞදි අරාබියෙන් මෙරටට ඛනිජතෙල් ගෙන්වන අතර එය ආනයනයකි. අප විසින්
යුරෝපා සංගමයට තේ කොළ අලෙවි කරන අතර එය අපනයනයකි. ආනයනයකදී අප විසින් වියදම් ගෙවන අතර
අපනයනයකදී අපට ආදායම් හිමි වේ.
2018 වසරේ ඇමරිකානු ඩොලර් බිලියන 88.9 ක් ලෙස ජාතික ආදායම සටහන් වූ බව පෙර සඳහන් කරන ලදී. ඒ අනුව එම වසරේ මෙරට ආනයන අපනයන සංයුතිය අධ්‍යයනය කිරීමෙන් අපනයන ආදායම ලෙස ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 11.1 ක මුදලක් ලබා ඇති බවත්, ආනයන වියදම ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 18.7ක මුදලක් වියදම් කර ඇති බවත් පෙනී යයි. ඒ අනුව ආනයන අපනයන අතර වෙනස ඇමරිකානු ඩොලර් බිලියන 7.6කි. අපනයන ආනයන අතර වෙනස වෙළඳ හිගය ලෙස ද දක්වයි. ඒ අනුව ශ්‍රී ලංකාව දිගු කාලයක් තිස්සේ වෙළඳ හිගයකට මුහුණ දී තිබේ. ආසන්නව විමසුවහොත් අපනයන වලට වඩා දෙගුණයකයට ආසන්න ආනයන අපගේ ආර්ථිකයට සිදු ව තිබෙන බව පෙනී යයි.
අපගේ ආනයන ලෙස මෝටර්රථ, ඛනිජ තෙල්, විදුලි උපකරණ මෙන්ම විවිධ ආහාරපාන ද්‍රව්‍ය මූලික වේ. මෑතකාලයේ සැලකියයුතු ලෙස මෙරට නිෂ්පාදනය කිරීමට හැකියාව තිබෙන නිෂ්පාධන පවා විශාල තොග ලෙස ආනයනය කර තිබෙන බව හඳුනා ගත හැකි වේ. ඒ අනුව අල,ලූණු, සීනි, කරවල, ලුණු, මාළු ආදී භාණ්ඩ පවා ආනයන අතරට පත්ව තිබේ. ආනයන බොහොමයක් ඉන්දියාව, චීනය, ජපානය සිංගප්පූරුව වැනි රජයන්ගෙන් සිදු ව තිබේ. විශේෂයෙන්ම ඒ අතුරෙන් ඇතැම් ආනයන අත්‍යවශ්‍ය ආනයන ලෙස හඳුනා ගතහැකි අතර ඇතැම් ආනයන අත්‍යවශ්‍ය නොවන ලෙස ද වර්ග කිරීමේ හැකියාව පවතී.අපනයන දෙස විමසීමේදී බොහොමයක් අපනයන ප්‍රාථමික
අපනයන වේ. එනම් තේ,පොල් රබර් ආශ්‍රිත නිෂ්පාදන මෙන්ම නිමි ඇඳුම්, කුළු බඩු ආදිය ඒ අතර
වේ. ඒවා අපනයනය කර තිබෙන්නේ ඇමරිකාව,යුරෝපය එංගලන්තය,ඉතාලිය වැනි ආර්ථිකයන් වෙතය.
අපනයන හා ආනයන පිළිබඳ මූලික සංකල්පය මත ජාත්‍යන්තර
වෙළඳාම නිර්මාණය වී තිබෙන බව පැහැදිලිය. ජාත්‍යන්තර වෙළඳාමේ මූලික න්‍යායන්
නිර්මාණය වුයේ ද සාපේක්ෂ වාසි හා නිරපේක්ෂ
වාසි පදනම් කර ගනිමිණි. එනම් රටකට කිසියම් භාණ්ඩයක් නිෂ්පාධනය කිරීමට සාපේක්ෂ පිරිවැය ඉහල නිෂ්පාදන ආනයනයකිරිම
පහසු බව පදනම් කර ගනිමිනි. වර්තමානයේ එම තත්වය විදේශ වෙළඳ අනුපාතය (Terms of
Trade) දක්වා විකාශනය
වී තිබේ. කෙසේ වෙතත් මේ ලිපිය තුළ තර්ක කෙරෙන්නේ අප ආර්ථිකය තුළ හා විදේශ වෙළඳාම කෙරෙහි
බලපාන නව ප්‍රතිසංස්කරණ ඵලදායි වීමේ සම්භාවිතාවය පිළිබඳව යි.
වර්තමාන රජය බලයට පත් වීමත් සමගම ආනයන අපනයන
හා දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය පිළිබඳව වැඩි අවධානයක් යොමු වී තිබෙන බව පැහැදිලිව පෙනී
යන කරුණකි. වර්තමානයේ පත්වීම් දෙනු ලැබූ කැබිනට් අමාත්‍යවරුන්ගේ අමාත්‍යාංශ විෂය පථයන්
දෙස බැලීමෙන්ම ඒ බව මොනවට පැහැදිලි වේ. ඒ අතර වේවැල්, පිත්තල , මැටි, බතික්, කුරුදු
ගම්මිරිස්, ආදී වන නාම කැපී පෙනෙයි. මෙම විෂය පථයන් අප ආර්ථිකයට අලුත් ඒවා නොවන අතර
මෙම අංගයන් ආර්ථිකයේ කොටසක්ව මුල් කාලයේ සිට පවතීණ. එහෙත් සිදු නොවුයේ මෙකී කර්මාන්ත
කෙරෙහි වැඩි අවධානයක් යොමු නොවීමයි.
මැටි ආශ්‍රිත කර්මාන්ත ගතහොත් සැලකියයුතු කර්මාන්ත
රාශියක් මෙරට පවතී. එය මහියංගනයේ හෝ දන්කොටුව උළු සිට මැටි ගඩොල්, වලං, විසිතුරු භාණ්ඩ ආදී පුළුල් ක්ෂේස්ත්‍රයක්
දක්වා විහිදෙයි. මෙම කර්මාන්ත බොහෝවිට පාරම්පරිකව පැවත එමින් ඇතැම්විට එම කර්මාන්ත
සංවර්ධනය නොවීම හෝ රජයේ අවධානය අවම වීම හේතුවෙන් අභාවයට යමින් පවතින අවස්ථා දුලබ නොවේ.
මෙම දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය ඔස්සේ පරිසර
හිතකාමී හා දේශීය නිෂ්පාධන ධාරිතාවය ඉහල දමමින් පරිසරයට අහිතකරවන ප්ලාස්ටික්,පොලිතීන්
ආදී ආනයන සිමා කිරීමේ හැකියාව අතෙකින් පවතී. තවත් අතෙකින් දේශීය කර්මාන්ත කරුවා ආරක්ෂා
කිරීමටත් අවස්ථාවක් හිමිවේ.
මෙරට කෙරෙන බොහොමයක් අපනයන ප්‍රාථමික නිෂ්පාදන
අපනයන බව ලිපිය ආරම්භයේදී මා විසින් සඳහන් කරන ලදී. එහෙයින් ඒවා අපනයනයෙන් ලැබෙන ආදායම
අවම වේ. නමුත් එම අපනයන සඳහා අගය එකතු කිරීමේ ව්‍යාපෘති හෝ කර්මාන්ත ප්‍රවර්ධනය කළහොත්
එමගින් සැලකියයුතු ඉහල ආදායමක් ලබා ගැනීමට ඉඩකඩ ලැබෙනු ඇත.
රජය විසින් දේශීය කර්මාන්තකරුවා ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගනු ලබයි. ඒ අතර බදු පැනවීම, කෝටා නියම කිරීම, ආනයනය තහනම් කිරීම හෝ සීමා කිරීම ප්‍රධාන වේ. මේ තත්වයන් ආරක්ෂණ ක්‍රියාමාර්ගයන් ලෙසද හඳුන්වනු ලබයි. ආරක්ෂණයේ වැදගත් ඉලක්කයක් වන්නේ දේශීය ළදරු කර්මාන්ත ආරක්ෂා කරමින් ඒවා වෙත ප්‍රසාරණය වීමට අවශ්‍ය පිටු බලය ලබා දීමයි. එහෙයින් නව කර්මාන්ත ආරම්භ කිරීමේ අවශ්‍යතාවය පවතී. එය කොළඹ නගරයට හෝ ප්‍රධාන නගරයන්ට සීමා නොවී ගම් මට්ටම දක්වා විකාශනය වීමේ කාලින අවශ්‍යතාවයක් පවතී. විශේෂයෙන්ම කුඩා හා මධ්‍ය පරිමන ව්‍යවසායකයන්ට පමණක් නොව ස්වයංරැකියා හිමියන්ටත් එහි ප්‍රතිලාභ බෙදී යාමේ වැඩපිළිවෙලක් අත්‍යවශ්‍යය වේ. එසේ නොමැති වුවහොත් නැවත වරක් රටේ ප්‍රධාන ව්‍යාපාරිකයන් වෙත සියලු ආදායම් ගලා යන තත්වයක් නිර්මාණය වීමේ අවධානාම නිර්මාණය විය හැකිය.
මේ කිසිවක් රජයේ පරිපාලන යාන්ත්‍රනය නිසි පරිදි
ක්‍රියාත්මක නොවන්නේ නම් සිදු කිරීම උගහට ය. උදාහරණයක් ලෙස කෙනෙකුට ව්‍යාපාරයක් ලියාපදිංචි
කිරීමට හෝ ආරම්භ කිරීමට දැනටත් විශාල වෙහෙසක් හා රස්තියාදුවක් දැරීමට සිදුවේ. අවසර
ගැනීම්,ඉල්ලුම්පත්‍ර පිරවීම් සඳහා දින ගණනක් ගත කරන්නට සිදු වේ.අවසානයේ දේශපාලන හෝ
අල්ලස් ලබා දීමෙන් හෝ අදාළ කටයුත්ත කිරීමට සිදු වේ. මේ සියලු ගැටළු වහා විසදීමේ ක්‍රමවේදයක්
අත්‍යාවශ්‍යයමය. ව්‍යපරකරණයට අවශ්‍ය පහසුකම් සුමටව ලබා ගැනීමේ ක්‍රමවේදයක් සැකසීම අනිවාර්ය
වේ.
මෙරට කෘෂි නිෂ්පාධන වල සැලකිය යුතු ප්‍රමාණයක් අපතේ යන බව මාගේ දැනීමයි. විශේෂයෙන්ම වගා හානි සහ ප්‍රවාහනයේ දි සිදුවන විනාශය සුළුපටු නොවේ. ගොවියන්ගේ නිෂ්පාධන සඳහා නිසි මිලක් ලැබෙන ක්‍රමවේදයක් ගොඩ නගමින් අතරමැදි කරණය වහා නතර කල යුතුය. එසේ නොවුවහොත් ගොවියාට හෙට දවස සුබ නොවෙනු ඇත. ඒ සඳහා පෙර පැවතී සමුපාකාර ක්‍රමවේදය වඩා කාර්යක්ෂම කිරීමේ හැකියාව රජයට තිබේ. වහාම එවැනි විකල්ප ක්‍රම දෙස අවධානය යොමු කිරීම ඵලදායි වනු ඇත.
ඇතැම් දේශීය කර්මාන්ත සඳහා අවශය අමුද්‍රව්‍ය
හා යන්ත්‍රෝපකරණ සඳහා මූලික පිරිවැය අධික වන අතර ඒ සඳහා කිසියම් සහන ක්‍රමවේදයක් අවශ්‍යය වේ. විශේෂයෙන්ම රැකියා විරහිත තරුණ තරුණියන්
නව නිෂ්පාධන හා කර්මාන්ත කෙරෙහි පුහුණු කිරීම තුලින් ඔවුන්ගේ ශ්‍රමය නිෂ්පාධන ක්‍රියාවලියට
ලබා ගැනීමේ හැකියාව ද පවතී. මේවන විටත් අතිරික්කතයක් පවතින රාජ්‍ය සේවයේ ඵලදායිතාවය
ඉහල නැංවීම කෙරෙහි නිසි කළමනාකරණ ක්‍රමවේදයක් හා ඇගයීම් ක්‍රමවේදයක් අත්‍යවශ්‍යය.
‘කිසිම දෙයක් මීට පස්සේ පිට රටින් ලංකාවට ගේන්නේ නෑ.’ වැනි බොළඳ තර්කයන් නම් ආර්ථිකය වෙත කිසි විටෙකත් සුබදායි නොවෙනු ඇත. උදාහරණයක් ලෙස ලෝකයේ සියලුම රටවල් තමන්ට අවශ්‍ය සියලුම දේ පිට රටකින් නොගෙන්වා, තම රට තුල නිෂ්පාදනය කරන්නට තීරණය කළහොත් ලෝක ආර්ථිකයේ කිසිඳු ඉදිරි ගමනක් නොවෙනු ඇත. රට තුල නිපදවෙන අතිරික්තය පවා අපතේ යනු ඇත. එමෙන්ම ජාත්‍යන්තර වෙළඳාම නොවෙනු ඇත. නැවතත් පැරණි ගල් යුගයක් නිර්මාණය වනු ඇත. කළයුතු වන්නේ නිවැරදි අවස්ථාවේ නිවැරදි තීරණ ගැනීමයි.
මෙරට නිෂ්පාධනය කිරීමේ විභවතාව පවතින දෑ නිෂ්පාධනය
කිරීමත්, නිෂ්පාදනය කිරීමට පිරිවැය අධික නිෂ්පාධන ආනයනය කිරීමටත් පියවර ගැනීමයි. ඒ
අතරම විකල්ප ක්‍රමවේද දෙස අවධානය යොමු කිරීම වැදගත් වේ. ඒ අනුව අප විසින් ලෝකය සමග
ගනු දෙනු කරන වෙළඳ ප්‍රතිපත්තිය සුවිශේෂ වේ. රටක් තවත් රටක් සමග වෙළඳාම් කරනවාද නැද්ද
යන තීරණය ගැනීමේ මුලික තීරණය කෙරෙහි වෙළඳ ප්‍රතිපත්තිය හැසිරීමේ ක්‍රමවේදය බලපායි.
මේ වන විට ගෝලීය ආර්ථික අර්බුදයක් මෙන්ම ගෝලීය
වෙළඳ අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බව නොරහසකි. අපගේ ආර්ථික ප්‍රතිපත්ති දිශානුගත
විය යුත්තේ මේ සියල්ල කෙරෙහිම අවධානය යොමු කිරීමෙනි. ජනතාව සතුටු කිරීමට ආර්ථික තීරණ
ගැනීමට වඩා ආර්ථිකයේ දිශානතිය හා අනාගත අභියෝග කෙරෙහි අවධානය යොමු කිරීමෙන් ප්‍රතිපත්තිමය
සැලසුම් ගොඩ නැගීම අනිවාර්ය කරුණකි.
නව ආර්ථික ප්‍රතිසංස්කරණ වඩා ඵලදායි වන්නේ ඒවා
තුල පවතින බාහිර පෙනුම හෝ ආකර්ශනීය පදනම මත නොව ඒවායේ පවතින ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය
සහ ප්‍රතිඵලදායි බව මත බව මාගේ අවබෝධයයි. එහෙයින් නිසි ක්‍රමවේදයකට හා සැලැස්මකට අනුව
අදාළ ක්‍රමවේද ක්‍රියාත්මක කළහොත් අපේක්ෂිත ප්‍රතිඵල අත්කර ගැනීම ආශ්චර්යයක් නොවෙනු
ඇත.
*****
Comments
Post a Comment