ආර්ථිකයේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ අභියෝග සහ කාලීනව නවීකරණය වීමේ අවශ්‍යතාවය

සටහන; ඉසුරු සම්පත් තෙන්නකෝන්

ප්‍රවාහනය මෙම වකවානුව තුල ඉතා බහුලව කතිකාවට නැගුණු මාතෘකාවකි.  ඒ අනුව භාණ්ඩ ප්‍රවාහනය හා මගී ප්‍රවාහනය ආදී වශයෙන් වන විවධ අංශ  ඇසුරෙන් ප්‍රතිපත්ති සහ ව්‍යාපෘති පිළිබඳව රජයේ මෙන්ම පෞද්ගලික අංශයේද අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය මතුවිය. විශේෂයෙන්ම ලාංකීය  පොදු ප්‍රවාහන සේවය ආර්ථිකය සඳහා සැලකියයුතු දායකත්වයක් දක්වයි. විශේෂයෙන්ම තම තමන්ගේ පෞද්ගලික රථ වාහන භාවිතයට සාපේක්ෂව, බස් රථ හා දුම්රිය වැනි පොදු ප්‍රවාහන මාධ්‍ය ඔස්සේ අති විශාල පිරිසක් ප්‍රවාහන පහසුකම් සලසා ගන්නා බව නොරහසකි.

විශේෂත්වය වන්නේ ප්‍රවාහනය හා ඒ ආශ්‍රිත පහසුකම් සංවර්ධනය යන්න ආර්ථිකයේ කේන්ද්‍රීය සාධකයක් බවට වර්තමානය වන විට පත් ව තිබීමයි. මේ ලිපිය ඔස්සේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ අභියෝග හා නවීකරණය වීමේ කාලීන අවශ්‍යතාවය පිළිබඳ විමසා බැලෙයි.

ප්‍රවාහන ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය.

ආර්ථිකයක මූලික සංවර්ධන ක්‍රමෝපායන් බවට පත්වන්නේ ඊට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය යි. ජලය, විදුලිය හා මාර්ග යන අංශ ඉන් ප්‍රමුඛතම පහසුකම් බවට පත් වේ. විශේෂයෙන්ම මාර්ග පද්ධතිය නවීකරණය වීමේ  මෙහි ලා සුවිශේෂී වේ. හොඳ මාර්ග පද්ධතියක්  තිබීම ආර්ථිකයට අංශ රැසකින් ප්‍රතිලාභ ජනනය කරනු ලබයි. විශේෂයෙන්ම ඒ හේතුවෙන් ප්‍රවාහන පිරිවැය අවම වන අතර අතිරේක ව නාස්තිවන කාලය සහ ශ්‍රමය ඉතිරි කිරීම මේ අනුව සිදුවන වැදගත් ක්‍රමවේදය යි.

රටක මාර්ග සංවර්ධනය විය යුත්තේ නාගරිකව පමණක් නොවේ. විශේෂයෙන්ම ග්‍රාමීය සහ වතු අංශයේ මාර්ග පහසුකම් සංවර්ධනය වීම අත්‍යවශ්‍යය වේ. ඒ සඳහා විශේෂිතම හේතුව වන්නේ ඒ ආශ්‍රිතව සිදුකෙරෙන නිෂ්පාදන වෙළඳපොල වෙත පහසුවෙන් හා ඉක්මනින් ආරක්ෂාකාරී ලෙස ගෙන එම ඒමට එම පහසුකම බලපාන නිසාවෙනි.එමෙන්ම එම ප්‍රදේශවල ජිවත්වන පුද්ගලයන්ගේ සුභ සාධනය හා ජිවන තත්වය ඉහල නැංවීම කෙරෙහිද එමගින් ධනාත්මක බලපෑමක් එල්ල වේ. පසුගිය් රජයන් බොහොමයක් ආර්ථික සංවර්ධනය ඉලක්ක කරමින් ග්‍රාමීය හා වතු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට වැඩි අවදානයක් යොමු කිරීමටද හේතු වුයේ මෙම තත්වය යි.

නිසි ප්‍රවාහන ක්‍රමවේද සහ අවශ්‍ය මාර්ග පහසුකම් නොමැතිව විනාශ වන එළවලු හා පලතුරු නිෂ්පාදන ප්‍රමාණය අද වන විටත් සැලකිය යුතු මට්ටමක පවතී. ඒ හේතුවෙන් භාණ්ඩ හා සේවා මිල  ගණන් ද   නිරන්තර උච්චාවචනයන් ට භාජනය වේ. අවසාන වශයෙන් එහි පීඩනය නැවතත් රට වැසියන් වෙතම එල්ල වීම කණගාටුවට කරුණකි.

 පොදු ජනතා ප්‍රවාහනයද ඉතා ගැටලුකාරී තත්වයට පත් වෙමින් පවතී. විශේෂයෙන්ම දිනෙන් දින ඉහල යන මාර්ග තදබදය, සඳහා තවමත් නිශ්චිත විසඳුමක් සෙවීම ගැටළුවක් බවට පත් වෙමින් පවතී. ලෝකයේ විවධ රටවල් කාලගුණික හා දේශ ගුණික වෙනස්කම් මත ගැටලුවලට මුහුණ දෙන විට වාහන වලින් පිටවන දුම් හා අනෙකුත් අපද්‍රව්‍ය හේතුවෙන් විශාල සමාජ පිරිවැයක් දැනටත් නිර්මාණය වී තිබේ.
මාර්ග වල පවතින අධික තදබදය මිනිසුන්ගේ කාලය හා මුදල් කා දමනවා පමණක් නොව අඛණ්ඩව වායුගෝලයට නිකුත්කෙරෙන කාබන්ඩයොක්සයිඩ් හා අනෙකුත් අහිතකර වායු නිසා වායු දූෂණය ඉහල නංවයි. ලංකාවේ දැනටමත් කොළඹ හා නුවර ආශ්‍රිත නගර වල මෙම තත්වය දැඩි අභියෝගයක් බවට පත්වෙමින් පවතී. ඒ අනුව් ස්වශන ආබාධ සහ නොයෙකුත් අහිතකර ප්‍රතිපල පුද්ගල සෞක්‍යය කෙරෙහි ඉස්මතු වෙමින් පවතී. එම තත්වයන්  පුද්ගයන්ගේ ජිවන තත්වය කෙරෙහි සෘණාත්මක බලපෑම් කරයි.

විධිමත් සහ ක්‍රමානුකූල පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයක අවශ්‍යතාවය

වසර 2018 මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු සංගණන අනුව සංඛ්‍යාලේකන වාර්තාව පෙන්නුම් කරන්නේ
 http://www.statistics.gov.lk/Pocket%20Book/chap08.pdf    2018 වන විට මෙරට සමස්ත වාහන ප්‍රමාණය හැත්තෑ හත් ලක්ෂ විසි හත් දහස් නවසිය විසි එකක් (7,727,921.) වන බවයි. ඒ අනුව සාමාන්‍යයෙන් ලියාපදිංචි බස් රථ සංඛ්‍යාව එක්ලක්ෂ දහදහස  ඉක්මවයි, (110,392). යතුරු පැදි ප්‍රමාණය හතලිස් තුන් ලක්ෂ අසූතුන් දහස ඉක්මවයි   (4,383,773) . ත්‍රී රෝද රථ සංඛ්‍යාවද  එකොලොස් ලක්ෂය ඉක්මවයි, ( 1,159,587කි) මේ අනුව බලන විට වාර්ෂිකව මෙරට මාර්ග පද්ධතියට සාමාන්‍ය වශයෙන් වාහන තිස් දහසත්, පනස් දහසත් (30,000-50,000) අතර ප්‍රමාණයක් එක්වන බව පෙනී යයි.

සංවර්ධනය වන රටක ප්‍රවාහන ක්ෂේස්ත්‍රය යාවත්කාලින වීම අත්‍යවශ්‍යම අවශ්‍යතාවයකි. මෙරට දුම්රිය පද්ධතිය සහ පොදු ප්‍රවාහන බස් රථයන් තව දුරටත් පවතින තත්වයේ තබා නොගනිමින් නව ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ අනුව එම සේවා යාවත්කාලින වියයුතු බව බොහෝ දෙනෙකුගේ මතයයි. විශේෂයෙන්ම මගී ප්‍රවාහන බස් රථ සේවා අධ්‍යයනය කිරීමේදී, සැලකියයුතු බොහොමයක් බස් රථ මගීන්ට අවශ්‍ය අවම පහසුකම් වත් ලබා නොදීමත්, කිසිදු විනයකින් හා පාලනයකින් තොරව මගීන් පටවාගෙන යාම්, අධික ගාස්තු අයකිරීම හා  ජනතාව මහමග ප්‍රමාදයනට ලක් කිරීම් ආදිය ඉතා සුලබ සිදු වීමක් බවට පත්ව තිබේ. එමෙන්ම දුරගමන් සේවා බස්රථ විවේක පිණිස හා ආහාර පිණිස නතරකරන ස්ථාන තවමත් සැලකියයුතු ලෙස ප්‍රමිතියෙන් තොර ආහාර සපයමින්, මෙන්ම අධික ලෙස මගීන්ගෙන් මුදල් අයකරමින් කිසිදු නියාමනයකින් තොරව ක්‍රියාත්මක වෙන ආකාරය හඳුනා ගත හැකිය.
මේ සඳහා රජයකින් අනිවාර්ය නියාමනයක් අත්‍යවශ්‍ය වේ. නිශ්චිත ප්‍රමිතීන් නියම කිරීම හෝ නිරන්තර එම ස්ථාන අධීක්ෂණයට ලක් කිරීම සිදු කළ හැකිය. බස් රථ සේවා ජනතාවට සුවපහසු වීම අනිවාර්යය. විශේෂයෙන්ම උදෑසන සිය සේවා කටයුතු වලට අනන්ත කරදර හා නෙක පීඩා විඳිමින් බස්රථ වල හා දුම්රියේ යනෙන දහසක් දෙනා පිළිබඳව යළිදු අමුතුවෙන් සිහිකළ යුතු නොවේ.

ඵලදායි හා කාලීන ප්‍රතිසංස්කරණ

රජයේ ලංකා ගමන ගමන මණ්ඩලය හා දුම්රිය පාඩු ලබන බවට දිගු කලක් තිස්සේ රජයන් නාහෙන් අඩමින් සිටි. එමෙන්ම එම සේවා තවමත් ජනතා බදු මුදලින් නඩත්තු කරමින් පවත්වාගෙන යමින් සිටී. ලංගම පුද්ගලීකරණය කිරීම වෙනුවට මා යෝජනා කරන්නේ එහි සේවා තරඟකාරී කරවීමයි. ලොරි සඳහා භාවිත කිරීමට සුදුසු, එහෙත් බස් රථ ලෙස භාවිතා වන, වාහන වලට වඩා සුවපහසු බස් රථ සේවයට හා ධාවනය ට එක් කිරීම මගින් තරගය නිර්මානය කිරීම කළහැකි පහසුම ක්‍රමවේදය යි. රජයෙන් ජනතාවට  සුවපහසු ප්‍රවාහන සේවා ලැබීමෙන් පෞද්ගලික බස් මාෆියාවට පවා අභියෝගයක් වන අතර ඒ අනුව පෞද්ගලික අංශයද තරගකාරී ලෙස සිය සේවා නවීකරණයට භාජනය කරනු  ඇත.  බස් රථයේ යන මගියා මෝටර් රථයෙන් යාමට සලසනවාට වඩා, මොර්ටර් රථයෙන් යන පුද්ගලයට ද නැවත බස් රථයෙන් යාමට තරම් වන තෘප්තියක් හා පහසුකම් සංවර්ධනය කිරීම අතිශයින් වැදගත් හා ප්‍රතිඵලදායි විය හැකිය. එය බොහෝ විට පවතින අධික වාහන තදබදයට පවා විසදුමක් සපයනු ඇත. නිසි පරිදි සේවා නවීකරණය කිරීම නොවන්නේ නම් නවීකරණයට අදාල නීති රීති ක්‍රියාත්මක කරන්නට රජයන්ට හැකියාව පවතී.  වර්තමානයේ බලයට පත් විවිධ  රජයන් විසින් මේ පිලිබඳ තීරණ ගෙන තිබුනත්, ඒවා ඉක්මනින් ක්‍රියාවට නැංවීම කාලීන අවශ්‍යතාවය ඉස්මතුව තිබේ. පාඩු ලබන සේවා ලාභ ලබන සේවා බවට පත් කිරීමට අවශ්‍ය වන්නේ නිවැරදි කළමනාකරණය හා නාස්තිය මෙන්ම දුෂණය පාලනය කිරීමයි.


දුම්රිය සේවාවන්ද වසර ගණනාවකින් නිසි ප්‍රතිසංස්කරණයට ලක් වී නොමැති තරම් ය. ඉතා අධික පිරිසක් දෛනිකව තම ප්‍රවාහන පහසුකම් සපයා ගන්නා දුම්රිය කෙරෙහෙ කුඩම්මාගේ සැලකිලි ලැබෙමින් පවති. නිශ්චිත ක්‍රමවේද හා නිවැරදි ප්‍රතිපත්ති මත මේවා නවීකරණය වීම කාලීන අවශ්‍යතාවයකි. හුදෙක් මෙම නවීකරණයන් දේශපාලන කතිකා හෝ මැතිවරණ පොරොන්දු බවට පත් වනවාට වඩා සජීවී හා ප්‍රතිඵලදායි ව්‍යාපෘති බවට පත් විය යුතුමය.











Comments

Popular posts from this blog

ගෝලීය ත්‍රස්‌තවාදයේ දේශීය බලපෑම හා ආර්ථික අස්ථාවරත්වය