ඉහළ යන භාණ්ඩ හා
සේවා මිල, පුද්ගල ක්‍රය ශක්තිය මත සහ ආර්ථිකය තුළ කරන බලපෑම.
සටහන-ඉසුරු සම්පත්
තෙන්නකෝන්
“දැන් කඩවල් වල එළවලු, හාල් පොල් හරි ගණන්. මෙහෙම ගියොත් කන්න බොන්නවත් ගන්න පඩියෙන්
බැරි වෙයි.” කම්කරුවෙකු යැයි සිතිය හැකි පුද්ගලයෙකු විසින් වෙළඳ සැලකින් භාණ්ඩ මිල
දී ගන්නා අතරතුර එහි සිටි තවත් පුද්ගලයෙකු ඇමතීය.
‘කෝ ඉතින්, හාල් පොල් ටික ගන්නවත් ගන්න මුදල
ඉතිරියක් නෑ නේ, කඩවල්වලත් අස්ප ගණන්. වේලක් කාල වේලක් නොකා තමයි ඉන්න වෙන්නේ මෙහෙම
ගියොත්’ ඊට පිළිතුරු බඳිමින් අනෙක් පුද්ගලයා කිවේය.
අනෙකුත් භාණ්ඩ වලට වඩා එදිනෙදා පරිභෝජනය කරන
භාණ්ඩ මිල ඉහළ යාම අප බොහෝ දෙනාට සංවේදීව දැනෙන කරුණකි. එමෙන්ම එය අපගේ මාසික වේතනයේ
වියදම සීමා කරවන තත්වයකි. සරළව කිවහොත් අපේ
පඩියෙන් මිලට ගත හැකි භාණ්ඩ ප්‍රමාණය කොතරම්ද යන්න තීරණය කරන්නකි. එහෙයින් මෙම මාතෘකාව
පිළිබඳ කතිකාව කාලීන කතිකාවක් වනු නොවනුමාන ය.
පාරිභෝජන භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමත්, ඒ ඔස්සේ
පුද්ගලයන්ගේ ජීවන වියදම ඉහළයාමත් වර්තමාන සමාජයේ නිතර දෙවේලේ කතිකාවට ලක්වන්නකි. සැබවින්ම
මෙම භාණ්ඩ හා සේවා මිල ඉහළ ගොස් තිබේද, එසේත් නොමැති නම් මෙය තාවකාලික තත්වයක්ද, මිල
ඉහළ යාම කෙරෙහි කිනම් හේතු සාධක බලපෑම් කර තිබේද, යන්න පිළිබඳව අධ්‍යයනය කිරීම කාලෝචිත
මෙන්ම සියලු දෙනාගේම පොදු අවබෝධය පිණිස උපකාරී වන කරුණකි.
මෙහිලා මූලිකව ම මා කතා කිරීමට බලාපොරොත්තු වන්නේ ආර්ථිකයක භාණ්ඩ
හා සේවා මිල ඉහල යාම කෙරෙහි බලපාන සාධක සහ ඒ ඇසුරෙන් ඉස්මතුවිය හැකි ආර්ථිකමය පිරිවැය
පිලිබඳව වන අතර ඊට අමතරව අනෙකුත් ආර්ථික විචල්‍යයන්ගේ හැසිරීම පිළිබඳවද අවධානය යොමු
කෙරෙයි.
ආර්ථිකයක භාණ්ඩ හා සේවා වල පොදු මිල මට්ටම ඉහල
යාම උද්ධමනය ලෙස හඳුන්වනු ලබයි. සාමාන්‍යයෙන් එම තත්වයක් ඇති වන්නේ කිසියම් සළකාබලන
එක භාණ්ඩයක හෝ භාණ්ඩයන් කිහිපයක මිල මට්ටම පමණක් ඉහල යාමෙන් නොවේ. එවැනි තත්වයක් ඇති
වීමට නම් සළකා බලන භාණ්ඩයන්ගේ (භාණ්ඩ පැසක) සාමාන්‍ය මිල මට්ටමෙහි ඉහළ යාමක් අනිවාරයෙන් ම
සිදුවිය යුතුය. ඒ අනුව සලකා බලන ලද භාණ්ඩ හා සේවා ප්‍රමාණයේ සාමාන්‍ය මිල මට්ටම
අඛණ්ඩව ඉහල යාමක් සිදු විය යුතුය. සැබවින්ම පරිභෝජන භාණ්ඩ හා සේවා වල පොදු මිල මට්ටමෙහි
කිසියම් වෙනස් වීමක් පසුගිය මාස කිහිපය තුළ පෙන්නුම් කරමින් තිබේ.
ශ්‍රී ලංකා මහා බැංකුව මගින් මාසිකව නිකුත් කරන
ලබන මාධ්‍ය නිකුතුව (press release) අනුව 2019 නොවැම්බර් දෙසැම්බර් හා 2020 ජනවාරි මාස තුන තුල මෙරට
පාරිබෝගික භාණ්ඩ සහ සේවා මිල ගණන් තුළ සැලකිය යුතු මිල උච්චවචනයක් පෙන්නුම් කරයි.
මුලාශ්‍රය
2013 වසර පදනම් වර්ෂය ලෙස
මූලික කර ගනිමින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) ඇසුරෙන් මෙම වෙන්වීම්
ගණනය කරනු ලබන අතර, ඒ ඔස්සේ භාණ්ඩ හා සේවා වල මිල මට්ටම ඉහල යාම හෙවත් උද්දමනය ගණනය
කරනු ලැබේ.
ඒ අනුව ආහාර හා ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ
ලෙස කොටස් දෙකක් ඇසුරේ භාණ්ඩ හා සේවා මිල ඉහල යාම අධ්‍යයනය කර තිබේ. මෙහිදී පැහැදිලිවම
පෙනී යන කරුණ වන්නේ ආහාරමය පරිභෝජන භාණ්ඩ වල සැලකියයුතු මිල ඉහල යාමක් 2019 ජුලි මාසයේ
සිට සිදුව තිබෙන බවයි. 2019 නොවැම්බරයේ එම තත්වය තරමක් අවම වී තිබුනත් ඉන් පසුව නැවතත්
අඛණ්ඩ මිල ඉහල යාමක් පෙන්නුම් කරයි.
ආහාරමය නොවන පරිභෝජන භාණ්ඩයන්ද
සැලකියයුතු මට්ටමකින් මිල ඉහළ යාමක් පෙන්නුම් කරයි. නොවැම්බරයට සාපේක්ෂව දෙසැම්බර්
මාසයේ ආහාරමය හා ආහාරමය නොවන භාණ්ඩ හා සේවා වල සැලකිය යුතු ඉහල යාමක් පෙන්නුම් කරයි.
සිදු වූ හදිසි ආපදා තත්වය මෙන් ම නත්තල සහ
නව අවුරුදු උදාව ආදී වූ උත්සව සමයේ මෙම සියලු
භාණ්ඩ වල සැළකියයුතු මිල ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.
භාණ්ඩ හා සේවා මිල ඉහළ
යාම කෙරෙහි බලපාන ලද හේතු සාධක
තරඟකාරී වෙළඳපොලක භාණ්ඩ
හා සේවා මිල තීරණය කරනු ලබන්නේ වෙළඳපොල ඉල්ලුම් හා සැපයුම් බලවේගයන් අනුසාරයෙනි.
එනම් එම භාණ්ඩය වෙත පවතින ඉල්ලුම හා එම භාණ්ඩ හා සේවා සැපයුම මත සමපාත වීමෙනි.
වෙළඳපොල ඉල්ලුමට
සරිලන සැපයුම නොමැති වීම හෝ ඉල්ලුම ඉක්මවා සැපයුම පැවතීම මත මිල ගණන් උච්චාවචනය විය
හැකිය. මෙවර සිදුවූයේ වෙළඳපොළ ඉල්ලුම සැපිරීමට තරම් වෙළඳපොලට භාණ්ඩ හා සේවා සැපයීමක් සිදු නොවීමයි.
ඒ අනුව භාණ්ඩ වල මිල ඉහල යාම සිදු විය.
පසුගිය සිදුවීම් අනුව මෙරට
පාරිභෝගික භාණ්ඩ හා සේවා මිල ඉහල යාම කෙරෙහි බලපාන ලද ප්‍රධානතම හේතුව බවට පත් වුයේ
මෙරට ඇතිවූ හදිසි ආපදා තත්වය යි. ඒ හේතුවෙන් දිවයිනේ සියලුම ප්‍රදේශ පාහේ ආපදා අවදානම්
තත්වයට පත් විය. කෘෂිකාර්මික ඉඩම් හා කෘෂි වගා බිම් අති විශාල ප්‍රමාණයක් හානියට ලක්
වූ අතර ඒ ඔස්සේ මෙරට කෘෂි නිෂ්පාදන අංශය අතිශය දරුණු කඩා වැටීමකට ලක් විය. ඒ අනුව වෙළෙඳපොළ
එළවලු මිල ගණන් නොසිතු විරූ ලෙස ඉහළ යාමක් වාර්තා විය.
කාලගුණික හා දේශගුණික වෙනස්කම
යන්න විසි එක්වන සියවසේ ජනතාව මුහුණ දෙන ප්‍රබලතම ගැටලුව බවට පත්ව තිබෙන අතර ඒවායේ
බලපෑම ශ්‍රී ලංකාව වැනි රටවලට ඉතා සංවේදීව දැනෙමින් පවතින බව පෙනී යන කරුණකි.
ලෝක දේශපාලනයේ හා ආර්ථිකයේ සිදුවන බොහෝ වෙනස්කම්
වල බලපෑමද භාණ්ඩ හා සේවා මිල වෙනස් වීම කෙරෙහි බලපායි. විශේෂයෙන්ම ඛනිජ තෙල් වෙළඳපොල
සිදුවන වෙනස්කම් සෘජුවම ආර්ථිකයේ පිරිවැය ඉහළ යාමට බලපායි. චීනය ශ්‍රී ලංකාවේ ආනයන වෙළඳ පොළ බවට
පත්ව තිබේ.බොහොමයක් ආනයන චීනය ඇසුරෙන් සිදුවන අතර ඇමරිකාව හා චීනය අතර පවතින වෙළඳ අර්බුදය
මත භාණ්ඩ හා සේවා පිරිවැය ඉහල යාමටද ධනාත්මක බලපෑමක් සිදු වෙනු ඇත.
ඉරානය වැනි රටක පවතින ආර්ථික
දේශපාලනික තත්ත්ව මෙන්ම ලෝක දේශපාලනයේ අර්බුද නිසා ඛණිජ තෙල් මිල ගණන් ඉහල යාමේ අවදානමක්
පැවතිණි.
මේ වන විට ලෝකය පුරා පැතිර
යන කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවන ආනයන හා අපනයන මෙන් ම නිෂ්පාදන වෙළඳපොල බිඳ වැටීම් හේතු කොට ගනිමින්ද ඉදිරියේදී
ආහාර මිල ගණන් ඉහල යාමේ වැඩි අවදානමක් පවතී.
මේ සියලු හේතු මත සිදුවන
භාණ්ඩ හා සේවා මිල ඉහල යාම නිසා වැඩිම බලපෑමක් වන්නේ පුද්ගලයන්ගේ ක්‍රය ශක්තිය මතය.
එනම් තමන්ට භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට පවතින හැකියාවේ අවම වීමයි. සරළ උදාහරනයකින්
කිවහොත් රුපියල් සියයකින් මීට පෙර මිලදී ගත භාණ්ඩ ප්‍රමාණය දැන් මිල දී ගැනීමට රුපියල්
එකසිය පනහක් වියදම් කිරීමට සිදු වීම යි. ඒ අනුව සෘජුවම පුද්ගලයන්ගේ ජීවන තත්වය පහල
වැටීමට බලපෑමක් සිදුවේ.
මෙම තත්වය ශ්‍රී ලංකාව
පමණක් වර්තමානයේ මුහුණ දෙන අභියෝගයක් නොවේ. ආහාර මිල ගණන් ඉහළ යාමත් ස්වභාවික ආපදා
ආදිය හේතුවෙන් කෘෂි නිෂ්පාදන අභියෝගයට ලක්වීමත් ගෝලීයව මුහුණ දෙන අභියෝගයක් බවට පත්ව
තිබේ. විශේෂයෙන්ම මේ වන විට අප්‍රිකා මහාද්වීපය තුළ තවත් වෛරසයක් පැතිර යමින් පවතින අතර අප්‍රිකානු කලාපයේම කෘෂිවගාවන් සඳහා විශේෂ කෘමි වසංගතයක්
පැතිර යමින් පවතින බවද වාර්තා වෙමින් පවතී.
ආහාර සුරක්ෂිතතාවය හා ආර්ථික
තිරසාරත්වය කෙරෙහි ආර්ථිකයක ආර්ථික විචල්‍යයන් නිවැරදි දිශානතියක් උදෙසා මෙහෙය වීම
අනිවාර්යයෙන්ම සිදුවිය යුතු කරුණකි. එය ලාංකීය වශයෙන් පමණක් නොව ගෝලීය වශයෙන්ද වැදගත්
වන්නකි.
භාණ්ඩ හා සේවා මිල ඉහල
යාම පාලනය කිරීමට මිල පාලනය, ආනයන ඉහල දැමීම, එකතුකළ අගය මත අයකරන බදු අවම කිරීම,
ආදිය ගතහැකි විසදුම් ලෙස පෙනී ගියද ඒවා නිසි පරිදි නියාමනයකින් හෝ ආර්ථික කළමනාකරණයකින්
මෙහෙය නොවීමෙන් ආර්ථිකයට විශාල හානියක් වීමේ අවදානම පවතී. හුදෙක් ජනතාවගේ ක්‍රය
ශක්තිය පමණක් නොව සමස්ත ආර්ථිකයේ ආර්ථික ස්ථායිතාවය බිඳ වැටීම කෙරෙහි බලපෑම් කිරීමේ
අවදානමක් පවතී. මෙම සියලු ක්‍රමවේද ක්‍රියාත්මක කළ යුත්තේ නිසි කළමනාකරණ ක්‍රමවේදයකින්
යුතුවමය.
කෙසේ වෙතත් ලෝකය දැනට මුහුණ
දෙන විවිධ පාරිසරික හා සමාජ ආර්ථික අර්බුද හමුවේ විමසා බැලීමේදී ආහාර අර්බුදයක් පවා ඇතිවීමේ අවදානමක් නැතුවම නොවේ.
එහෙයින් ඵලදායි ක්‍රියාමාර්ග හා ආර්ථික සැලසුම් මත ආර්ථිකය ඉදිරියට ගෙන යාම අනිවාර්ය
වේ.
Comments
Post a Comment