තරුණ සේවා වියුක්තියේ නොපෙනෙන පැත්ත.
සටහන ඉසුරු සම්පත් තෙන්නකෝන්

රටක සේවා කිරීමට
හැකි ජන ප්‍රමාණයත්, (ශ්‍රමය සැපයීමට) සේවා කිරීමේ අපේක්ෂාවෙන් සිටින ප්‍රමාණයත් ශ්‍රම බලකාය ලෙස හඳුන්වනු
ලැබේ. ඒ අනුව ශ්‍රම බලකාය යනු සේවා නියුක්තිකයන් සහ සේවා වියුක්තිකයන්ගේ එකතුවකි.
සේවා වියුක්ති ජන කොටස ලෙස ගණනය කරෙන්නේ රැකියාවක් නොමැති හා එහෙත් රැකියාවක් අපේක්ෂාවෙන් සිටින සමස්ත ප්‍රමාණයයි. එය සමස්ත ශ්‍රම බලකායේ ප්‍රතිශතයක්
ලෙස දැක්වීම සේවා වියුක්ති අනුපාතය යි. එම සේවා වියුක්තිකයන් අතර තරුණ හා වැඩිහිටියන්
කාන්තා පිරිමි භේදයකින් තොරව සිටින අතර ශ්‍රී ලංකාවේ වර්තමාන දත්ත අනුව තරුණ සේවා වියුක්තිකයන්
ප්‍රමාණය සැළකිය යුතු ඉහල මට්ටමක් වාර්තා වේ. මෙම ලිපිය ඔස්සේ අද කතා කෙරෙන්නේ එම තරුණ
සේවා වියුක්තිකයන් සහ එම සේවා වියුක්තිය ඔස්සේ බාහිරට නොපෙනෙන ආර්ථික, සමාජ හා දේශපාලනික
පැතිකඩ පිළිබඳව ය.
ශ්‍රී ලංකාවේ තරුණ
සේවා නියුක්තිය
මෙරට සේවා වියුක්ත
දත්ත අනුව සමස්ත සේවා වියුක්තිය ප්‍රමාණය 5%
(4.7% වසර 2016 ) නොයික්මවයි. එහෙත් ඒ අතුරින්
එම තරුණ ජනගහනයෙන් සේවා වියුක්ති ප්‍රමාණය
සැලකියයුතු ඉහළ අගයක් ගන්න අතර (8% - 10%) තරුණයන් රැකියා විරහිත බව නොයෙකුත් සමාජ
ආර්ථික දේශපාලනික මෙන්ම සමාජයීය බිඳ වැටීම් සඳහා බලපා තිබෙන බව පෙනී යන කරුණකි.
රැකියාවක් නොමැතිකම
යන්න ආර්ථිකමය වශයෙන් පුද්ගලයෙකුට බලපාන ප්‍රබල සාධකයකි. ශ්‍රී ලංකාව වැනි රටක එය ආර්ථික පමණක් නොව, ප්‍රබල
සමාජ ගැටළුවක් සඳහා මුලපුරන හේතු සාධකයකි. විශේෂයෙන්ම රැකියාවක් නොමැතිකම පුද්ගල ආදායම
නොමැති වීම කෙරෙහි බලපාන අතර ආදායම් නොමැති බව තම තමන්ගේ පෞද්ගලික ආර්ථික වර්ධනයටත්,
පෝෂණයටත් සමාජ හා සංස්කෘතික සංවර්ධනයටත් බලපායි.
පුද්ගල සහ සමස්ත
ආර්ථිකය කෙරෙහි වන බලපෑම.
පුද්ගලයකු රැකියාවක්
නොමැති වීමෙන් ඔහුට ආදායමක් නොලැබී යනු ඇත. ආදයමක් නොමැති වූ විට භාණ්ඩ හා සේවා මිල
දී ගැනීමේ හැකියාවක් (ක්‍රය ශක්තිය) නොමැති වේ. එවැනි අවස්තාවක ඔහුගේ පරිභෝජනය හා
ජීවන තත්වය පහත වැටීමට බලපායි. එම තත්වය පුද්ගලයාගෙන් පවුලටත්, පවුලෙන් සමස්ත ආර්ථිකයටත්
බලපෑම් කරන අතර සමස්ත ආර්ථිකයේ යහපැවැත්ම බිඳ වැටීම කෙරෙහි එම තත්වය බලපායි.
ආර්ථිකයක ආදායම්
වර්ධනය නොවන තත්වයක් තුළ ආර්ථිකයේ ප්‍රසාරණයක් සිදු නොවේ. එනම් ආර්ථික වර්ධනයක් අපේක්ෂා
කළ නොහැකිය. ආර්ථික වර්ධනය බිඳ වැටීම සමස්ත ආර්ථික ක්‍රියාවලියේම බිඳ වැටීම කෙරෙහි
බලපාන අතර එතුළින් ආර්ථික අස්ථායිතාවයක් ගොඩ නැගෙයි.
අනෙක් අතට රැකියා
වියුක්තියෙන් පෙනී යන්නේ රැකියාවක් නොමැතිව, සිය ශ්‍රමය ඵලදායි ආර්ථික කටයුත්තක නොයොදවා තරුණයන්ට/පුද්ගලයන්ට නිකරුනේ කාලය ගත කිරීමට සිදු
වනවා යන්න යි. නැතහොත් රැකියාවක් ලැබෙන තුරු බලා සිටීමට සිදු වනවා යන්න යි. එමගින්
අතිවිශාල ශ්‍රමයක් ආර්ථිකයට නිකරුනේ අහිමි වී යයි. එසේ අහිමි වන්නේ ආර්ථිකයේ සංවර්ධනයට
යොදා ගැනීමට තිබු ආර්ථික ශක්තිය යි. එය ආර්ථිකයකට ඉතා විශාල පිරිවැයකි.
උපාධිදාරීන්, පුහුණු
වෘත්තිකයන් වැනි පිරිසක් රැකියා වියුක්ත වීමෙන් පෙනී යන්නේ රජය විසින් ඔවුන් වෙනුවෙන්
ආයෝජනය කරන ලද ආයෝජන නාස්ති වීමත්, එම ශ්‍රමය භාවිත නොකිරීමෙන් අපතේ යන තරුණ ශ්‍රමයත්
වන බවය. ශ්‍රමයේ ඇති එක ලක්ෂණයක් වන්නේ පුහුණු කළ හැකි වීමත් ප්‍රයෝජනයට නොගතහොත් කාලයත්
සමග ක්ෂය වී නාස්ති වී යාමත් ය. මෑත කාලීනව සමාජයේ දක්නට ලැබෙන එක සේවා වියුක්ති තත්වයක්
වන්නේ සුදුසුකම් වලට සාපේෂව රැකියාව නොගැලපෙන තත්වයන් ය. උදාහණයක් ලෙස, විෂයක් ලෙස
ගණිතය හදාරන ලද ගුරුවරයෙකු සමාජ විද්‍යාව හෝ වෙනත් පුහුණුවක් නොමැති විෂයක් ඉගැන්වීමට යෙදවීම හඳුනා ගත හැකිය. තවත් උදාහරණයක්
ලෙස කෘෂිකර්මය හෝ ධිවර තාක්ෂනය උගත් උපාදිධාරියෙකු කලමනාකාර සහයකයෙකු ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සේවා නියුක්ත
වීම දැක්විය හැකි ය. එමගින් සිදු වන්නේ ශ්‍රමයේ නිසි පරිදි උපයෝජනය නොවීමයි. සත්‍යයෙන්ම
සිදු විය යුත්තේ අදාළ සුදුසුකම අනුව ගැලපෙන රැකියාවක නියුතු වීමයි. කෙසේ වෙතත් මෙම
උදාහරණ වලින් පෙනී යන්නේ සේවා වියුක්ත නොවුනත් ශ්‍රමය නිසි පරිදි ප්‍රයෝජනයට නොගෙන
නාස්ති වී යන බවයි. එමගින් පෙනෙන්නේ පුහුණු කරන ලද ශ්‍රමය පවා නිසි පරිදි උපයෝජනය (ප්‍රයෝජනයට)
නොවීමයි. මෙම සේවා වියුක්ති තත්වයන් ආර්ථික විද්‍යානුකුලව
විවිධ තත්ත්ව හා නාම යටතේ විග්‍රහ කරන නමුදු, ඔබගේ කියැවීමේ පහසුව හා අවබෝධයේ පහසුව වෙනුවෙන්
එම සංකීර්ණ නියමයන් මෙහිදී සාකච්ඡා නොකෙරේ.
අනෙක් කරුණ වන්නේ
උගතුන් හා වියතුන් රට හැර යාමයි. ඒ ඔස්සේ බුද්ධි ගලනය සිදුවන අතර අධ්‍යාපනය සඳහා කරන
ලද මෙරට ජනතාවගේ හා රජයේ ආයෝජන විදේශයන් වෙත ගලා යාම සිදුවේ. මේවා ඉතා සංකීර්ණ තත්වයන්
වුවත් රැකියා විරහිත බව මේ සඳහා මූල බීජය වන බව පැහැදිලි ය.
තරුණ තරුණියන්ගේ
සමාජ හා පුද්ගල ජීවිතය කෙරෙහි වන බලපෑම
විශේෂයෙන්ම රැකියා
හිගය හා සේවා වියුක්තිය සමාජ ගැටළු විශාල ප්‍රමාණයකට වස්තු බීජ වේ. විශේෂයෙන් ම, තරුණයන්ගේ
රැකියා අහිමි වීම සමාජයේ විවිධ තරුණ කැරළි කෝලාහල වලට හේතු වන බව පෙනී යන කරුණකි.
1983 හා 1988 තරුණ නැගිටීම් සඳහාද මෙම තත්වය බලපෑ බව නොරහසකි. අනෙක් අතට සමාජයේ නීති
විරෝධී ක්‍රියා ඉහල යාමක් පෙන්නුම් කෙරේ. විශේෂයෙන්ම් තරුණයන් නීති විරෝධී ජාවාරම්,
වෙළදාම හා උපක්‍රම මගින් ආදායම් ඉපයීමට යාම මේ ඔස්සේ සිදු වේ.
අනෙක් අතට ප්‍රජා
විද්‍යාත්මක ව විමසීමේ දී තරුණ තරුණියන්ගේ විවාහය
හා පවුල් ජීවිතය කෙරෙහි සෘණාත්මක බලපෑම් රැකියා විරහිත බව පදනම් කර ගනිමින් සිදු විය
හැකිය.
එමෙන්ම පුද්ගලයන්ගේ
කුටුම්බ වෙත එහි සෘණාත්මක බලපෑම් එල්ල කරයි. පවුල සහ එහි සාමාජිකයන් තුළ පවතින සබඳතාවයන්
දුරස් වීමට බලපායි. උදාහරණයක් ලෙස රැකියා විරහිත බව නිසා කාන්තාවන් විදේශ රැකියා වලට
යාම කෙරෙහි වැඩි පෙළඹවීමක්
දැක ගත හැකි අතර ඒ ඔස්සේ ඔවුන්ගේ පවුල් සංස්ථා මෙන්ම දරුවන්ගේ රැකවරණ ආශ්‍රිත ගැටළු
රාශියක් කාලීනව නිර්මාණය වී තිබීම පෙනී යයි. විදේශ රැකියා ආර්ථිකයට ආදායමක් ජනනය කරනු
ලැබුවත් අක්‍රමවත්, නුපුහුණු රැකියා හා අනිසි ක්‍රම ඔස්සේ සිදුවන සංක්‍රමණ හා සිදුවීම් මගින් ආදායමට වඩා ඉහල
සමාජ පිරිවැයක් ජනනය කරයි.
ඊට අමතරව රැකියා
විරහිත බව තරුණ තරුණියන් තුළ බලාපොරොත්තු සුන් වීම, මානසික ආතතිය මෙන්ම විවිධාකාරී
සමාජ පීඩාවන් ඉස්මතු වීම කෙරෙහි ද සෘජුව හා වක්‍රව බලපෑම් කරනු ලබයි.
තරුණ සේවා නියුක්තිය
පුළුල් කිරීම සඳහා වන ඵලදායි යෝජනා
ආර්ථිකයක ක්‍රියාකාරිත්වයේ
ශක්තිය ඉහලම කොට්ඨාශය ලෙස තරුණ ජන කණ්ඩායම හඳුනා ගත හැකි අතර රටක අනාගතය ගොඩනගන ගාමක බලවේගය ලෙස තරුණ ප්‍රජාව හඳුනා ගත හැකිය.
එබැවින් තරුණ සේවා වියුක්තිය අවමකරමින් සේවා නියුක්ති අවස්ථා ඉහල නැංවීමටත්, තරුණ තරුණියන්
ප්‍රතිඵලදායී ව ආයෝජනය කිරීමටත් අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍යය වේ. ඒ සඳහා ඵලදායි
යෝජනා කිහිපයක් මෙසේ දක්වනු ලැබේ.
1- රටෙහි ශ්‍රම ඉල්ලුමට
සරිලන පරිදි ශ්‍රම සැපයුම් වෙළඳපල ගොඩ නැගීම අත්‍යවශ්‍යම කරුණකි.
2- තාක්ෂණික අංශයේ
රැකියා ප්‍රවර්ධනය.
3- රජයේ රැකියා මානසිකත්වයෙන්
තරුණ තරුණියන් මුදවා ස්වශක්තියෙන් නැගී සිටිය හැකි
ඵලදායි ක්‍රමවේදයන් හඳුන්වා දීම.
4- ස්වයං රැකියා අවස්ථා
ප්‍රවර්ධනය හා ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුම්කම් සංවර්ධනය
5- තරුණ ප්‍රජාවගේ
අනාගත අපේක්ෂා සහ රැකියා වෙළඳපල සමපාත වන පරිදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් සිදු කිරීම
6- පාසල් අධ්‍යාපනය
හා විශ්ව විද්යාල අධ්‍යාපනය ලබන වසර සීමාව අවම කර එහි ඵලදායිතාවය ඉහල නැංවීම
ඉන් කිහිපයකි.
මෙහි සඳහන් වන්නේ
කෙටි කාලීනව හා දිගු කාලීනව ක්‍රියාත්මක කලයුතු ක්‍රියා මාර්ගයන් කිහිපයක් පමණි.
මෙම අදහස් හා යෝජනා පිළිබඳව ඔබට විකල්ප මතවාදයන්
පවතිය හැකි අතරම මීට වෙනස් වැදගත් යෝජනාවන්ද පැවතිය හැකිය. නමුත් මේ ඔස්සේ මා ඉදිරිපත්
කරන්නේ නිවැරදි හා ප්‍රතිපත්තිමය විසඳුමක් තරුණ සේවා වියුක්ති අර්බුදයට අත්‍යවශ්‍ය
වන බවය.
නිවැරදි යෝජනා
ක්‍රියාත්මක කරන්නේ නම් එහි වාසිය නැවත සමස්ත ආර්ථිකයටම යොමු වේ. ඒ සඳහා ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ,
රජයේ මෙන්ම පෞද්ගලික අංශයේද සහභාගීත්වය ලබා ගැනීම අත්‍යවශ්‍යය වේ. දේශපාලන පොරොන්දු
හෝ න්‍යාය පත්‍ර වලට සීමා නොවී ප්‍රතිපත්තිමය විසඳුමක් හා වැඩපිළිවෙලක් මත මෙම
ගැටලුව ඵලදායිව විසඳිය හැකිය. එවැනි තත්වයක් යටතේ අපතේ යන ශ්‍රමය නිෂ්පාදන කාර්යයට
දායක කර ගැනීමත් ඒ ඔස්සේ පුද්ගල සමාජ හා ආර්ථික සංවර්ධනයක් අපේක්ෂා කළ හැකි අතර එම
ක්‍රියාමාර්ග නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීමෙන් කිසිම දිනෙක මෙම ගැටලුව විසදෙනු දැකිය නොහැකිය.
Comments
Post a Comment