කෘෂි- සංචාරක කර්මාන්තය හා ශ්‍රී ලංකාවේ එම කර්මාන්තයට පවතින විභවතාවය

සටහන ඉසුරු සම්පත් තෙන්නකෝන් 

සංචාරක ආකර්ෂණය සඳහා කෘෂිකර්මය භාවිත කරනේ කෙසේද යන කතිකාව මේ වන විට ශ්‍රී ලාංකීය ආර්ථිකය තුළ ගොඩ නැගෙමින් පවතින යුගයක මෙම මාතෘකාව පිළිබඳව කිසියම් කතිකාවක් හා අවබෝධයක් අප සතුව පැවතිය යුතු බැවින් මෙම ලිපිය ඔස්සේ කෘෂි සංචාරක කර්මාන්තය සහ එහි වර්තමාන භාවිතයත්, එම ක්ෂේත්‍රය සංවර්ධනයේ පවතින අවශ්‍යතාවයත් පිළිබඳව කරුණු ඉදිරිපත් කෙරෙයි.

සංචාරක කර්මාන්තය (Tourism) වර්තමානය වන විට ලොව ඉතා ජනප්‍රිය හා ඉහළ ආදායම් උපදවන කර්මාන්තයක් බවට පත්ව තිබේ. ඒ අනුව සංචාරක කර්මාන්තය තුළ පවා විවිධ වූ බෙදීම් දක්නට ලැබේ. කෘෂි සංචාරක කර්මාන්තය (Agro-Tourism) යනු ඉන් එකකි. ඒ ඔස්සේ කියැවෙන්නේ කෘෂි කර්මාන්තය දියුණු කිරීම හා ඒ ඔස්සේ සංචාරක ආකර්ෂණය ලබා ගැනීමත්, කෘෂි කර්මාන්තය හරහා ආදායම් ඉපදවීමත් ය. කෘෂිකර්මාන්තය බොහෝ විට පදනම් වන්නේ ඒ ආශ්‍රිත  සමාජ, සංස්කෘතික හා ආර්ථික වපසරිය පදනම් කර ගනිමිනි. ඒ ඔස්සේ එක් එක් ආර්ථික සමාජ හා සංස්කෘතික වටපිටාව පදනම් කර ගනිමින් කෘෂිකාර්මික රටාවේ අනන්‍ය ලක්ෂණ පෙන්නුම් කරයි.

කෘෂි සංචාරක කර්මාන්තය යනු කුමක්දැයි නිර්වචනය කිරීමට විවිධ නිර්වචනයන් පවතින අතර සරලව කෘෂි සංචාරක කර්මාන්තය නිර්වචනය කළ හැකි වන්නේ අධ්‍යාපනික හා විනෝදාස්වාදාත්මක අරමුණු පදනම් කරගනිමින්  සංචාරකයන් කෘෂිකර්මාන්තය වෙත ආකර්ෂණය කර ගැනීමේ ක්‍රමවේදය හා භාවිතය ලෙසයි. (Agro-tourism is the practice of attracting visitors and travelers to agricultural areas, generally for educational and recreational purposes.) ඒ අනුව සිදු වන්නේ එක් එක් ආර්ථිකයන්ට ආවේනික වූ කෘෂිකාර්මික රටාවන් සංචාරකයන් වෙත හඳුන්වාදීමත් එම කෘෂිකාර්මික කටයුතු සඳහා සංචාරකයන් පෙළඹවීම මෙන්ම ඔවුන්ගේ ප්‍රයෝගික සහභාගිත්වය අනුව විනෝදාස්වාදය ජනනය කරමින් ආදායම් ඉපදවීමේ ක්‍රියාවලියයි.

ලොව බොහෝ රටවල් මෙම කර්මාන්තයේ සැළකියයුතු සාර්ථකත්වයක් අත්කර ගනිමින් තිබෙන අතර සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් ප්‍රමුඛ අංශයක් බවට පත්ව තිබේ. චීනය, ජපානය, ඇමරිකාව හා ඕස්ට්‍රේලියාව වැනි ආර්ථිකයන් තුළ කෘෂි සංචාරක කර්මාන්තය ඉතා සාර්ථකව සිදුවෙමින් පවතින අතර එරට කෘෂිකාර්මික අංශයේ නිරතවූවන්  විසින් සිය ගොවිපළ කටයුතු සංචාරක කටයුතු සඳහා භාවිතයක් දක්නට ලැබේ. නෙදර්ලන්තය වැනි ආර්ථිකයන් තුළ කෘෂිකාර්මික අංශයේ නිරත ගොවියන් වෙත සමාජයේ හිමිව තිබෙන පිළිගැනීම හා සමාජ තත්වය මෙවැනි අවස්ථාවක කතිකා කිරීම අනිවාර්යය. නෙදර්ලන්තය තුළ ගොවියන් ඉහළ ආදායමක් ලබන අතර ඔවුන් විසින් සිය කෘෂි කර්මාන්තය කෘෂි ව්‍යවසායකත්වයට සංවර්ධනය කර තිබේ. එහෙයින් ඔවුන් කෘෂි ව්‍යවසායකයන් බවට පත්ව තිබේ.
 ශ්‍රී ලංකාව මෙම කර්මාන්තයෙහි තරමක් ආධුනික තත්වයක් පෙන්නුම් කරනු ලැබුවත් මේ වන විටත් විශේෂයෙන් ම ලංකාවේ නුවරඑලිය, දඹුල්ල, අනුරාධපුර වැනි ප්‍රදේශයන්හි මෙම කෘෂි සංචාරක කර්මාන්තය සිදුවේ. එමෙන්ම නොවිදිමත් ක්‍රමවේද ඔස්සේ ද කිසියම් ආදායම් උත්පාදනයක් මේ වන විට කෘෂි සංචාරක අංශය ඇසුරෙන් සිදුවෙමින් පවතී. කෘෂි සංචාරක ව්‍යාපාරය සඳහා මේ වන විට ලොව සංචාරකයන්ගෙන් පවතින ඉල්ලුම ඉතා ඉහළ මට්ටමක පවතින අතර එම ක්ෂේත්‍රයේ සංචාරක ආයෝජන ඉහළ යාමක් අපේක්ෂා කළ හැකිය.

ශ්‍රී ලංකාව තුළ කෘෂි සංචාරක කර්මාන්තයට පවතින විභවතාවය.

ශ්‍රී ලංකාව වැනි ආර්ථිකයක පවතින කෘෂි නිෂ්පාදන විවිධත්වය හා කාලගුණික මෙන්ම දේශගුනික තත්වය කෘෂි සංචාරක ක්ෂේත්‍රය සඳහා ඉතාමත් උචිත පදනමක් සපයයි.

ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම මෙන්ම කාලගුණික දේශගුණික තත්වයේ පවතින සුවිශේෂිතාවය කෘෂි සංචාරක කර්මාන්තය සඳහා පවතින ප්‍රධානතම  වාසි දායක තත්වයකි. එමෙන්ම අප සතුව පවතින ඉපැරණි වාරි තාක්ෂණික රටාවත්, ශ්‍රී ලංකාවට  ආවේනික කෘෂිකාර්මික ක්‍රමවේදයනුත් නිසා සංචාරක ආකර්ෂණය සැළකියයුතු ලෙස වර්ධනය වෙමින් පවතී. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ පවතින පාරම්පරික කෘෂිකාර්මික ක්‍රමවේදයන් හා ආහාර විවිධත්වය සංචාරකයන්ගේ ආකර්ෂණය තීව්ර කරන සාධකයකි. අනෙක් අතට ශ්‍රී ලංකාව තුළ පවත්නා පාරම්පරික ශාකසාර සහ ආයුර්වේදය පවා සංචාරක කර්මාන්තයට ඉහළ අගයක් එක් කරයි. එම අංගයක් කෘෂි සංචාරකත්වය සමග මනාව ගළපාගැනීමෙන් ඉතා ගුණාත්මක සේවයක් සංචාරකයන් වෙත සැපයීමේ ඉඩකඩ පවතී.

ආගන්තුක සත්කාරය අතින් ශ්‍රී ලංකාව සඳහා ලොව හිමිවන්නේ ඉහළම අගයකි. මෙරට ජනතාවට ආවේනික ආගන්තුක සත්කාර ක්‍රමවේද සහ ජනතාවගේ සංස්කෘතිකමය සාධක සඳහා සංචාරකයන් විශේෂ ඇල්මක් දක්වන බව වාර්තාවේ. ලොව සංචාරක ගමනාන්ත පිළිබඳව අධ්‍යයනය කරන සඟරාවක් වන ලෝන්ලි ප්ලැනට් (Lonely Planet) නම් සඟරාව විසින් 2019 වසරේ ලොව සංචාරක ගමනාන්ත අතුරින් පළමු ස්ථානය ශ්‍රී ලංකාව ලෙස නම් කර තිබේ. ඒ අනුව රට තුළ තව දුරටත් සංචාරක අංශය සංවර්ධනය කිරීමට පවතින පසුබිම තහවුරු වී තිබේ.
මෙරට ආදායම් ලැබෙන ප්‍රධානතම මාර්ග හඳුනා ගැනීමේදී විදේශ ශ්‍රමිකයන් විසින් උපයන ආදායම් හැරුනුකොට දෙවෙනුවට ඉහලම අගය වාර්තා කරන්නේ සංචාරක ක්ෂේත්‍රයෙන් උපයන ආදායමයි. ඒ අනුව සංචාරක ක්ෂේත්‍රයේ වටිනාකම කොතරම්ද යන්න අවබෝධය අපහසු නොවේ.

වසර 2018 දී මෙරටට පැමිණි සමස්ත සංචාරක  ප්‍රමාණය විසි තුන් ලක්ෂය ඉක්මවයි. (2,333,796-year 2018 tourism arrival report) එමෙන්ම 2019 වසරේ  සැප්තැම්බර මස අවසන් වන විට මෙරටට පැමිණ තිබෙන සංචාරකයින් ප්‍රමාණය ලක්ෂ දහතුන ඉක්මවා තිබේ (1,376,312- year 2019) දත්ත මුලාශ්‍රය http://www.sltda.lk/monthly-tourist-arrivals-reports-2019



කෘෂි සංචාරක ක්ෂේත්‍රය ආර්ථිකය තුළ ප්‍රවර්ධනය සඳහා කළ යුත්තේ කුමක්ද ?

තව දුරටත් ශ්‍රී ලංකාව තුළ සංචාරක කටයුතු සඳහා පවතින අවස්ථා මෙන්ම ආයෝජන ඉහල නැංවීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවට පත් ව තිබේ. ඒ සඳහා ක්‍රියාවට නැංවිය යුතු ක්‍රමවේද කිහිපයක් පවතී.
කෘෂි සංචාරක ව්‍යාපාරය පිලිබඳ ජනතාව තුළ දැනුම, අවබෝධය හා ඒ සඳහා අවශ්‍ය කුසලතාවන් සංවර්ධනය කිරීම්.
අදාළ සංචාරක කටයුතු සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම.

ආයෝජකයන්ට අදාළ ක්ෂේත්‍රයන් තුළ ආයෝජනය කිරීමට අවස්ථාව හා පහසුකම් සැලසීම.

බදු සහන ලබාදීමත්, අඩු පොලී අනුපාත යටතේ ණය හා අවශ්‍ය මුල්‍ය පහසුකම් සම්පාදනයත් ක්ෂේත්‍රයේ සංවර්ධනය ඉහළ යාම කෙරෙහි මෙන්ම නව ආයෝජන දිරිමත් වීම කෙරෙහි ධනාත්මක පෙළඹවීමක් සිදු කරනු ඇත.


කෘෂි කර්මාන්තය ආශ්‍රිත ජනතාව මෙම සංචාරක කටයුතු සඳහා නිසි පුහුණුවක් සහිතව යොමු කිරීමට පියවර ගැනීම

එක් එක් ප්‍රදේශ වල පවතින විවිධත්වය හා සංචාරක ආකර්ශනයත්, විභවතාවයත් හඳුනා ගනිමින් ඊට සරිලන කෘෂි සංචාරක කටයුතු හඳුන්වාදීම මෙන්ම ප්‍රවර්ධනය.

 ආදිය අවශ්‍ය මූලික පහසුකම් ලෙස හඳුනා ගත හැකි අතර ඒ තවදුරටත් ඒ සඳහා අවශ්‍ය සමාජ ආර්ථික හා දේශපාලනිකමය වශයෙන් වන අවශ්‍යතා හා ප්‍රතිසංස්කරණයන් සිදු කිරීම අනිවාර්ය වේ. එමෙන්ම අදාළ ක්ෂේත්‍රය නිවැරදිව මෙහෙය වීමටත්, අවශ්‍ය ප්‍රතිසංස්කරණ හා නියාමන කටයුතු කිරිමටත්, නිවැරදි හා ක්‍රමානුකූල යාන්ත්‍රණයක් අත්‍යවශ්‍ය වේ. මේ අනුව යහපත් කෘෂි සංචාරක ව්‍යාපාරයක් ආර්ථිකය තුළ ගොඩ නැංවීමට හැකියාව ලැබෙන අතර ඒ ඔස්සේ ලැබෙන ප්‍රතිලාභ සමස්ත ආර්ථිකයටම යහපත් අනාගතයක් උදා කරනු ඇත.
                                   ***

සේයා රූ -අන්තර්ජාලයෙනි
සටහන ඉසුරු සම්පත් තෙන්නකෝන් 

Comments

Popular posts from this blog

ගෝලීය ත්‍රස්‌තවාදයේ දේශීය බලපෑම හා ආර්ථික අස්ථාවරත්වය