GSP+ බදු සහනය ශ්‍රී ලංකාවට අහිමි වෙයිද?
සටහන - ඉසුරු සම්පත් තෙන්නකෝන්
බදු යනු
ආර්ථිකයක ආනයන අපනයන හා වෙළඳාම පාලනය කිරීම උදෙසා රජයක් විසින් පනවනු ලබන අනිවාර්ය වෙළඳ බාදකයකි. ඒ
අනුව විවිධ බදු වර්ගයන් ආර්ථිකයක දක්නට ලැබේ. ජාත්‍යන්තර වෙළඳාමේ දී විශේෂයෙන්ම මෙම
බදු බොහෝ අවස්ථා වලදී කපා හැරීම්, බදු සීමා අඩු කිරීම් හා ඉහළ දැමීම සිදුවේ. එම බදු කපා හැරීම
බදු සහනයන් ලෙසද හඳුන්වනු ලැබේ. GSP+
බදු සහනය යනු වර්තමානයේ බොහෝ කතිකාවන්ට හේතු වූ එවැනි බදු සහනයකි.
රටවල් විසි අටකින් 28 සැදුම්ලත් යුරෝපා සංගමය
(EU) විසින් මෙම බදු සහනය රටකට ලබා දීමේ දී ඒ සඳහා පූර්වයෙන් සළකා බලන ලද කොන්දේසි කිහිපයක් පවතින
අතර එම කොන්දේසි කඩකළහොත් එම සහනය ලබා
නොදීමට හෝ කපාහැරීමට ද සම්පුර්ණ බලය යුරෝපානු සංගමය සතුව පවතී.
යුරෝපානු සංගමය විසින් අඩු සංවර්ධන මට්ටමක් පවතින රටවල්
හා සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙත දෙනු ලබන බදු සහනයන් කොටස් තුනකි. ඒ GSP, GSP+
සහ EBA යනුවෙනි.
පොදු වරණිය
බදු සහනය (GSP) - මෙම බදු සහනය හිමි වන්නේ අඩු ආදායම් ලාභී ආර්ථික හා
පහළ මැදි ආදායම් ආර්ථිකයන් වෙත ය. මෙම බදු සහනය යටතේ සම්පුර්ණයෙන් ම හෝ හරි අඩක්
වන පරිදි ආනයන හා අපනයන සඳහා පවතින බදු , රේගු බදු හා අනෙකුත් බදු ඉවත් කරනු ලැබේ.
විස්තීරණ
පොදු වරණීය බදු සහනය (GSP+) - මෙම සහනය ලැබෙන්නේ තිරසාර සංවර්ධනය හා යහපාලන මූලධර්මයන්
අනුගමනය කරනු ලබන ක්‍රියාවලීන් ඔස්සේ ය. මෙහිදී 0% වන පරිදි වන බදු ප්‍රමාණයක් හෝ ඉතා අවම බදු යටතේ,
එනම් බදු සහන යටතේ අපනයන කටයුතු සඳහා අඩු ආදායම්ලාභී ආර්ථික හා පහළ මැදි ආදායම්
රටවල් වෙත අවශ්‍ය ඉඩකඩ 27 වන ජාත්‍යන්තර ප්‍රඥප්තියට අනුකුලව සැපයේ. 27 වන ප්‍රඥප්තිය(
27th convention) යනු මානව
හිමිකම්, කම්කරු අයිතීන් පරිසර සංරක්ෂණය හා යහපාලනය පදනම් කර ගත් ප්‍රඥප්තිය ය.
EBA (Everything But Arms):ආයුධ හැර සියල්ල සඳහා වන බදු සහනය - අවම සංවර්ධනයක් පවතින ආර්ථිකයන් සඳහා වන විශේෂ සහනය යටතේ
අවි ආයුද හා පතොරොම් හැරුනුකොට ඕනෑම භාණ්ඩ හා සේවාවක් බදු රහිතව, අවම බදු ප්‍රතිශතයකින්
හෝ කෝටා ක්‍රම යටතේ හෝ නොමිලයේ (අවම පිරිවැයට) ලබා ගැනීමට ආර්ථිකයන්ට පහසුකම්
සලසයි.
GSP බදු සහනය
ලබා ගැනීමට සපුරාලිය යුතු පූර්ව කොන්දේසී කිහිපයකි.
GSP+ සහනය ලබා
ගැනීමට නම් එම රට අනිවාර්යෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටක් විය යුතු අතර ඊට අමතරව කොන්දේසි
කිහිපයක් සපුරාලිය යුතුවේ.
එම රට ලෝක බැංකුව
විසින් ගණනය කරන ලද ඉහළ මැදි ආදායම් ආර්ථික මට්ටමට වඩා පහලින් පැවතිය යුතුය.
යුරෝපා සංගමයේ
වෙනත් නිදහස් වෙළඳ ගිවිසුමක් සමග සම්බන්ද ආර්ථිකයක් නොවිය යුතුය.
ඊට අමතරව GSP+වෙත පිවිසීමට මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම් පරිසර සංරක්ෂනය හා යහපාලනය
සඳහා වූ 27 ජාත්‍යන්තර ප්‍රඥප්තියට අනුකුලව වැඩ කිරීම අවශ්‍ය වේ.
අවම සංවර්ධනයක්
පවතින රටවල් වෙනත් ගිවිසුම් තිබුනද, ඔවුන් වෙත ස්වභාවයෙන්ම EBA හිමිවේ. කෙසේ වෙතත් සියලුම
ප්‍රතිලාභී රටවල් ජී.එස්.පී. සහනය ලබන්නට නම් මානව හිමිකම් සහ කම්කරු අයිතිවාසිකම් පිළිබඳ
මූලික සම්මුතීන් පහළොවක් පිළි ගැනීම අත්‍යවශ්‍ය වේ.
මේ සියලු බදු
සහ බදු සහන පාලනය කිරීමේ සම්පුර්ණ අයිතිය යුරෝපා සංගමය සතු වන අතර යුරෝපා සංගමයේ තීරණ
මත අදාළ බදු සහන සැපයීම හෝ නතර කිරීම තීරණය
වේ.
ශ්‍රී
ලංකාව සහ GSP+ බදු සහනය.
ශ්‍රී
ලංකාව මෙම බදු සහනය ලබා ගන්නා ලද්දේ වසර 2005 ජූලි 15 වන දින දී ය. ශ්‍රී ලංකාවට තීරු බදු රහිතව භාණ්ඩ 7200ක් යුරෝපා සංගමයට අපනයනය කිරීම සඳහා මේ අනුව හැකියාව
ලැබිණි. එම භාණ්ඩ හා සේවා අතර නිමි ඇඳුම්, ධීවර නිෂ්පාධන හා කෘෂිකාර්මික නිෂ්පාදන වේ.
මේ එහෙත් විවිධ හේතු සාධක මත එම බදු සහන විවධ අවස්ථා පදනම් කර ගනිමින් අහිමි කරන ලදී.
වසර 2010දි මානව හිමිකම් මත පදනම් කර ගනිමිනුත්, 2016 තහනම් ධීවර ආම්පන්න භාවිතය පදනම්
කර ගනිමිනුත් මෙම බදු සහනය අහිමි කරන ලදී. මේ වන විට GSP+ බදු සහනනය ක්‍රියාත්මක වන අතර නැවතත්
ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ආර්ථිකයක් බවට පත් වීමත් සමඟම GSP+ බදු සහනය අහිමි වීමේ
අවධානමක් මතු වෙමින් පවතී.
වසර
2011 සිට වසර 2017 දක්වා කාල පරාසය තුළ යුරෝපා සංගමයෙන් ලබා දෙන ලද බදු සහන නිසා කොතරම්
සහනයක් කලාපයේ ආර්ථිකයන් සඳහා ලැබී තිබේද යන්න ගණනය කර තිබේ. ඒ අනුව අදාළ බදු සහන ලබන
රටවල් වලින් යුරෝපා සංගමය සිදුකරන ආනයන 44%කින්
ඉහළ ගොස් තිබේ. EBA බදු සහන ලබන රටවල අපනයන 125%කින් ඉහල ගොස් තිබෙන අතර GSP+ සහන ලබන
ආර්ථිකයන් යුරෝපා සංගමය වෙත කරන අපනයන 82%කින්
වර්ධනය වී තිබෙන බව යුරෝපා සංගමය සිය වාර්තා මගින් පෙන්නුම් කරයි.
GSP
බදු සහනය ආර්ථිකයට කොතරම් බලපෑමක් කරන්නේද?
මෙම
බදු සහනය ඇසුරෙන් ආර්ථිකය වෙත සැළකියයුතු බලපෑමක් වේ. එම බලපෑම ආර්ථික, දේශපාලන හා සමාජමය
ආදී වශයෙන් විවිධ වේ.
විශේෂයෙන්ම
බදු සහනය රටෙහි අපනයන ඉතා අවම බදු ප්‍රතිශතයක් යටතේ හෝ බදු රහිතව යුරෝපානු සංගමයේ ආර්ථිකයන්
වෙත යොමු කිරීමේ හැකියාව ලැබේ.
මෙම
බදු සහනය ලබා දීමේදී සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාතන්තර සම්මුතිය International
Covenant on Civil and Political Rights (ICCPR), මරණිය දණ්ඩනයට එරෙහි
ප්‍රඥප්තිය Convention Against Torture (CAT), හා ළමා අයිතිවාසිකම්
පිළිබඳ වන ප්‍රඥප්තිය Convention on the Rights of the Child (CRC) ආදී කොන්දේසි වලට අනුගතව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව අනිවාර්ය වේ.
යම් හෙයකින් මෙම කොන්දේසි වලින් පරිබාහිරව කටයුතු කරන්නේ නම් ඒ අනුව අදාළ සහනය අහිමි
වේ.
මේ
වන විටත් ශ්‍රී ලංකාව මරණ දඬුවම ක්‍රියාත්මක කලයුතුය’ යන කතිකාව ඉස්මතු වීම මත මේ පිළිබඳ
දැඩි ආන්දෝලනාත්මක තත්වයක් මතු වෙමින් පවතී. ඒ අනුව ජි.එස්.පී. ප්ලස් බදු සහනය කෙරෙහි
එය සෘජුවම බලපෑමක් සිදු කරනු ඇත. එසේම ළමා අයිතිවාසිකම් උල්ලංඝනය වීම හා අඩු වයස් විවාහ
නිසා ළමා අයිතිවාසිකම් කඩවීම් සිදුවන බව චෝදනාවට ලක් වන නිසා ඇතැම් විවාහ වයස් මට්ටම්
වයස අවුරුදු 18 දක්වා ඉහල දැමීමේ කතිකාවන් වර්තමාන සමාජයේ ඉස්මතු වෙමින් තිබේ. එම තත්වයන් සංශෝධනය කිරීමටත් මෙම බදු සහනය අහිමි
වේ’ යයි සිතන අවදානම හේතු වන්නට ඇත. අනෙක් කරුණ වන්නේ තහනම් ධීවර ආම්පන්න භාවිතය සහ
පරිසර විනාශය යන සාධක පරිසරයේ තිරසාරත්වය අහිමි වීමයි. මේ අනුවත් අදාළ බදු සහනය අහිමි
වීමේ ඉඩකඩ පවතී.
අනෙක්
ප්‍රධානතම කරුණ වන්නේ ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ආර්ථිකයක් බවට පත් වීම නිසා මෙම
සහනය අහිමි වීමේ අවදානම ඉහළ මට්ටමක පවතී.
එමෙන්ම
රටෙහි අභ්‍යන්තර දේශපාලන හා ආර්ථික යාන්ත්‍රණය වෙතද මෙම බදු සහනය හරහා යුරෝපානු ආර්ථිකයන්ට
බලපෑම් කිරීමේ ඉඩකඩ පවතී.
GSP+
නොමැතිව ආර්ථිකයට ඉදිරියට යා හැකිද?
රටක්
ආර්ථික සම්මුතීන් හෝ ගිවිසුම් ඇති කර ගන්නේ
එම ආර්ථිකයන්ගේ සංවර්ධනය පදනම් කර ගනිමිනි. ආනයන අපනයන හා තාක්ෂණ හුවමාරුව වඩාත් කාර්යක්ෂම
කර ගැනීමටය. ඒ අනුව GSP+ බදු සහනය අහිමි වුව
හොත් මෙතෙක් ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට අපනයන කරන ලද භාණ්ඩ හා සේවා විශාල ප්‍රමාණයකට
තිබු බදු සහනය අහිමි වේ. ශ්‍රී ලංකාවේ අපනයන වැඩි වශයෙන් කෙරෙන දිශාව වන්නේ යුරෝපය ප්‍රමඛ ඉහළ ආදායම් ආර්ථික රටවල්
වන අතර ආනයන වැඩිපුර සිදු කෙරෙන්නේ චීනය ප්‍රමුඛ ආසියානු ආර්ථිකයන්ගෙනි. ඒ අනුව යුරෝපානු සංගමය නමැති අපනයන වෙළඳපල
අහිමි වී යාමේ ඉඩකඩ පවතී. එහෙත් මෙම බදු සහනයම අපගේ ආර්ථිකය තීරණය කරන සාධකය විය යුතු
නැත. වෙනත් විකල්ප ගිවිසුම් වෙත යා හැකිය. එනම් ද්විපාර්ශවීය හා බහුපාර්ශවීය
ගිවිසුම් වෙත යාමයි. අනෙක් කාර්ය වන්නේ අප දැනටමත් අපනයනය කරන බොහෝ අපනයන අගය එකතු
කරන ලද (value added) භාණ්ඩ හා සේවා නොවීමයි. ඇතැම් භාණ්ඩ අගය එකතු කිරීමකින් තොරව
මෙම බදු සහනය ඔස්සේ අපනයනය කළහැකි අතර එසේ අගය එකතු කිරීමක් කළහොත් ඒවා සඳහා බදු සහන
අහිමි වේ. මේ නිසාම අප ආර්ථිකයට විශාල ආදායමක් අහිමි වී යයි. අපගේ නිෂ්පාදන අගය එකතු
කරමින්, ගෝලීය වෙළඳපල තරගකාරීත්වය වෙත තරගකාරීව ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයන් වලට යොමු
වීම කාලීන අවශ්‍යතාවයකි. එසේ නොවුනොත් මෙතෙක් අපට පැවති වෙළඳපල අහිමි වී යනු ඇත.
අනෙක්
කරුණ වන්නේ ශ්‍රී ලංකාව තවමත් භාණ්ඩ හා සේවා සම්පාදනයේදී ප්‍රාථමික භාණ්ඩ වෙත මුලික
අවදානයක් යොමු කර තිබීමයි. මේ තත්වය ඉදිරියේ දී පැහැදිළිවම වෙනස් වියයුතුය. ඒ අප කළයුතු වන්නේ තාක්ෂණිකමය හා ඉහළ අගය
එකතුකිරීමක් සඳහා වන භාණ්ඩ හා සේවා නිපදවීම සඳහා ආයෝජනය කිරීමයි. අනෙක් අතට ආයෝජන හා
දේශීය නිෂ්පාදන කර්මාන්ත තවදුරටත් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ඉස්මතු වේ. ඒ ඔස්සේ අදාළ
සහනය අහිමි වී ගිය හොත් එමගින් වන බලපෑම අවම කර ගැනීමේ හැකියාව පවතී. අදාළ බදු සහනය
අහිමි වූ පසුව ඒ සඳහා විසඳුම් සෙවීම වෙනුවට, අහිමි වීමේ අවදානම මේ මොහොතේ ගෙන ඊට අවශ්‍ය
විසඳුම, ආර්ථික ප්‍රතිපත්ති හා ආයෝජන වෙත යොමු වීමේ අවශ්‍යතාවයක් වර්තමානයේ පවතී.
සටහන- ඉසුරු සම්පත් තෙන්නකෝන්.
Comments
Post a Comment