වසර 2018 මහබැංකු වාර්තාවෙන් හෙළි වන ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික  හා මුල්‍ය තත්වය
සටහන -ඉසුරු සම්පත් තෙන්නකෝන්.

ශ්‍රී ලංකාවේ පසුගිය වසර ආශ්‍රිත ආර්ථික තත්වය හා සමාජ සංවර්ධනය පිළිබඳව ප්‍රමුඛතම හා නිල දත්ත හා තොරතුරු ඉදිරිපත් කරන වාර්ථාව වන  2018 මහබැංකු වාර්තාව ශ්‍රී ලංකා මහා බැංකුව විසින් පසුගියදා නිකුත් කරනු ලැබුවා.
මහා බැංකුව මගින් ඒ අනුව පෙන්නුම් කරන ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික දත්තයන් පිළිබඳව කිසියම් අවබෝධයක් මෙම ලිපියෙන් ඔබ වෙත සැපයීමට අපේක්ෂිත ය.
මහා බැංකු වාර්තාව පරිච්ඡේදයන කිහිපයකින් සමන්විත වන අතර ඒ එක් එක් පරිච්ඡේද ඇසුරෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික සමාජ දත්ත ඉදිරිපත් කරයි.  ආර්ථිකය මිල මට්ටම හා මුල්‍ය, ජාතික නිෂ්පාදිතය හා ආදායම, මුල්‍ය ප්‍රතිපත්තිය, අයවැය ප්‍රතිපත්තිය ආදී විවිධ අංශ ඒ අතර වේ. මේ ඇසුරෙන් ඔබ වෙත ඉදිරිපත් කෙරෙන්නේ මුලික ආර්ථික දත්ත හා මූලික සමාජ දත්ත කිහිපයක් පමණි.
ඒ අනුව  ජනගහනය සහ ජීව සංඛ්‍යාති දර්ශකයන් ඇසුරේ ලංකාවේ සමස්ත මධ්‍ය වාර්ෂික  ජනගහනය 2018 වසර වන විට 21,670,000 ක් එනම් මිලියන 21.6 ඉක්මවා තිබෙනවා. එම ජනගහනයෙන් මෙරට සේවා නියුක්ති ජන ගහනය ලෙස වාර්තා වී තිබෙන්නේ පුද්ගලයන් 8,015,000 ප්‍රමාණයක්. එය ආසන්නව මිලියන අටක ප්‍රමාණයක්. ඒ අනුව සමස්ත ආර්ථිකයේ යැපුම් අනුපාතය 49.4%ක් ලෙස වාර්තා වී තිබෙනවා. යැපුම් අනුපාතය යනු සේවා නියුක්තිකයන්ගේ  ආදයමන් යැපීම සඳහා රටක  සිටින  සේවයේ නියුක්ත නොවන වයස අවුරුදු 15ට අඩු දරුවන් හා වයස අවුරුදු 64  වැඩි වැඩිහිටියන්ගේ එකතුව ලෙස සරලව හඳුන්වා දිය හැකියි.
 වසර 2018 වන විට වර්ග කිලෝමීටරයක් සඳහා වන ජන ඝනත්වය පුද්ගලයන් 346 දක්වා ඉහල ගොස් තිබෙනවා. එනම් වර්ග කිලෝමීටරයක් තුල වෙසෙන සාමාන්‍ය ජනගහනය පුද්ගලයන් 346ක්.  ලකාවේ දළ උපත් අනුපාතය පුද්ගලයන් දහසකට 15.1 ක් ලෙසත්, දළ මරණ අනුපාතය පුද්ගලයන් දහසකට 6.2 ක් ලෙසත් වාර්තාවන අතර ඒ අනුව ස්වභාවික වර්ධන වේගය ලෙස වාර්තා වන්නේ ජනගහනය පුද්ගලයන් දහසකට 8.7ක් වශයෙනි.
උපතේදී වන ජිවිත අපේක්ෂාව වසර 75.5 දක්වා ඉහල ගොස් තිබීම විශේෂත්වයක්. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය සාක්ෂරතාවය සියයට 92.6 ක් ලෙස වර්ධනයක් පෙන්නුම් කරන අතර ඒ අතරින් පුරුෂයන්ගේ සාක්ෂරතාවය 93.7% ලෙසත් ස්ත්‍රීන් සඳහා වන සාක්ෂරතාවය 91.6% ක් ලෙසත් වාර්තා වේ.
ජනගහන දරිද්‍රතා මට්ටම 4.1% පවතින අතර ආදායම් ව්‍යාප්ති විෂමතාවය පෙන්නුම් කෙරෙන ගිනි සංගුණක අගය 0.45ක අගයක් වාර්තා කරයි. එනම් මෙරට පුද්ගලයන්ගේ දුප්පත්කම සැලකියයුතු මට්ටමකින් අඩු වී තිබුනත්, තවමත් සැලකියයුතු ආදායම් බෙදී යාමේ විෂමතාවයක් පවතින බව පෙන්නුම් කරයි. සාපේක්ෂව මානව සංවර්ධන දර්ශකයේ මෙවර හිමිවී තිබෙන අගය වන්නේ 0.770 වේ (2017 අනුව). ඒ අනුව රටවල් 189ක් අතරින් ශ්‍රී ලංකාව 76 වන ස්ථානය ලබා තිබෙනවා. මානව සංවර්ධන දර්ශකය ගණනය  කරනු ලබන්නේ උපද්තේදී ආයු අපේක්ෂාව,පාසල් අධ්‍යාපනය ලබන  වසර ගණන හා ලැබීමට අපේක්ෂිත වසර ගණන, ඒක පුද්ගල ආදායම යන දර්ශකයන් උපයෝගී කර ගනිමිනි.
2018 වසරේ මෙරට ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 4102ක් (ද.දේ.නි. පවත්නා වෙළඳපල මිලට)  ලෙස වාර්තා වී තිබෙනවා.
2018 වසර වන විට මෙරට රාජ්‍ය අංශයේ සමස්ත සේවා නියුක්තිය පුද්ගලයන් දා හතර ලක්ෂ එකොලොස් දහසක් (1,411,000ක්) වන බව වාර්තාවන අතර එයට රාජ්‍ය, පළාත් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන් ඇතුලත්.
ලංකාවේ භෞතික, සමාජ හා මුල්‍ය යටිතල පහසුකම් යටතේ  අධ්‍යයනයේ දී, මෙරට විදුලිබලය සඳහා ඇති ප්‍රවේශය 99.3% ක් ලෙස වාර්තා වන අතර පිරිසිදු පානීය ජලය සඳහා වන ප්‍රවේශය 90.6% ලෙස වාර්තා වී තිබේ. පණිවිඩ හුවමාරු ක්ෂේස්ත්රයේ දී කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන අතර මෙරට පවතින ස්ථාවර දුරකථන හා ජංගම දුරකථන  ප්‍රමාණය පුද්ගලයන් 100කට 161.6ක්  ලෙස වාර්තා වේ. අන්තර්ජාල ඝනත්වය පුද්ගලයන් 100ක් සඳහා 33.5 ක් ලෙස වාර්තා වේ.
අධ්‍යාපනය දෙස බැලීමේ දී සාමාන්‍ය අධ්‍යාපනයේදී එනම් පාසල් අධ්‍යාපනයේදී ගුරු සිසු අනුපාතය 17ක් ලෙස සටහන් වන අතර විශ්ව විද්‍යාල අධ්‍යාපනයේදී ගුරු සිසු අනුපාතය 18.4ක් ලෙස වාර්තා වේ. ගුරු සිසු අනුපාතය යනු එක ගුරුවරයෙකු සඳහා සිටින සිසුන් ප්‍රමාණය යි. ඒ අනුව වසර 2018 වන විට මෙරට අධ්‍යාපනය සඳහා රජය දරන වියදම සමස්ත දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස දැක්වුවහොත් 1.9% කි.
මහජන සෞඛයය පිළිබඳව විමසීමේදී එක වෛද්‍ය වරයෙකු සඳහා වන පුද්ගලයින්  සංඛ්‍යාව 1,035කි. ඒ අනුව හෙද කාර්ය මණ්ඩලය පුද්ගලයින් දස දහසකට 16.7ක් ලෙස වාර්තා කර තිබේ. සමස්ත මහජන සෞඛ්‍යය සඳහා රජයේ වියදම දළ දේශීය නිෂ්පාධිතයෙන් 1.5%කි.
වසර 2018 වන විට මෙරට බලපත්‍ර ලාභී වාණිජ බැංකු ශාඛා  2876ක් ව්‍යාප්තව තිබෙන අතර භාවිතයේ පවතින ණය පත් (credit cards) ප්‍රමාණය පුද්ගලයන් ලක්ෂයකට 7,916කි. ඒ අනුව මෙරට ජනතාවගේ බැංකු කටයුතු  සඳහා වන පහසුකම් පුළුල් වීමක් දක්නට ලැබෙනවා.
2018 වසරේ මෙරට විදේශ වෙළඳාම ලෙස බැලීමේ දී, විදේශ වෙළඳ ශේෂය එනම් ආනයන හා අපනයන අතර වෙන පෙර වසර මෙන් හිගයක් පෙන්නුම් කරයි. එනම් වෙළඳ ගිණුමේ ඇමරිකානු ඩොලර් මිලියන 10,343ක් හිගයක් වාර්තා වේ. ඒ අනුව අපගේ අපනයන වලට  වඩා දෙගුණයකින් ආනයන ඉහල ගොස් තිබෙන බව පෙනී යයි. ඒ අනුව සමස්ත අපනයන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 11,883ක් වන විට ආනයන ඇමරිකානු ඩොලර් මිලියන  22,233ක් දක්වා ඉහල ගොස් තිබේ.
රාජ්‍ය අය වැය දෙස බැලීමේ දී, සමස්ත රජය ආදයම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 13.4 ක් වන අතර ඉන් බදු අදායම 11.9ක් හා ඉතිරිය බදු නොවන වෙනත් ආදායම් වේ.  සමස්ත අයවැය හිගය 5.3ක් ලෙස සටහන් වන අතර එම අයවැය මුල්‍යනය කිරීම (හිඟය පියවා ගැනීම) සඳහා දේශීය හා විදේශීය මුලාශ්‍රයන් භාවිත කර තිබේ.  මහා බැංකු වාර්තාවට අනුව මධ්‍යම රජයේ සමස්ත ණය ප්‍රමාණය සමස්ත දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 82.9% කි. ඉන් කියැවෙන්නේ රටේ මුළු ආදායම /දේශීය නිෂ්පාදිතය 100ක් නම්, ඉන් 82.9 ක් රජයට ගෙවීමට ණය පවතින බවයි. මෙම 82.9න් 41.2 ක් විදේශ ණය වන අතර 41.6ක් දේශීය ණය වේ. ( දත්ත මුලාශ්‍රය ශ්‍රී ලංකා මහා බැංකු වාර්තාව 2018)
මේ අනුව 2018 මහා බැංකු වාර්තාව තුලින් මෙරට ආර්ථික සමාජ හා මුල්‍යය අංශයේ සිදු වූ වෙනස් වීම් රාශියක් ඉස්මතු කරයි. මේ ඇසුරෙන් ඔබ වෙත සපයනු ලැබුවේ ලංකාවේ ආර්ථික සමාජ දත්ත පිළිබඳව වන සංශිප්තයක් පමණි. මීට අමතරව ශ්‍රී ලංකා මහා බැංකු වාර්තාව 2018, අධ්‍යයනයෙන් ඔබට මේ පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු අධ්‍යනය කර ගැනීමේ හැකියාව තිබේ. ශ්‍රී ලංකා මහා බැංකු වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට 2018 මහා බැංකු වාර්තාව සිංහල ,දෙමල, ඉංග්‍රීසි යන ඕනෑම භාෂාවකින් ලබා ගැනීමේ හැකියාව පවතී.
                                                                            ****







Comments

Popular posts from this blog

ගෝලීය ත්‍රස්‌තවාදයේ දේශීය බලපෑම හා ආර්ථික අස්ථාවරත්වය