කාබන් බද්ද යනු කුමක්ද, කාබන් බද්දෙහි සමාජ පිරිවැයක් තිබේද?
සටහන -ඉසුරු සම්පත් තෙන්නකෝන්
ශ්‍රී  ලංකාව තුළ බදු පිළිබඳව නිරන්තර කතිකාවක් ඇති වෙමින් පවතී. කාබන් බද්ද යන්න කතිකාවට නැගෙන්නේ 2019 ජනවාරි මාසයේ සිට මෙරට කාබන් බද්ද ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමත් සමගය. කාබන් බද්ද යනු කුමක්ද? එම බද්ද ක්‍රියාත්මක කරන්නේ කුමකටද සහ එහි ආර්ථික ප්‍රතිලාබ කුමක්ද යන්න අධ්‍යයනය මෙම ලිපියේ අරමුණ වේ..
කාබන් බද්ද යන්න සරළව දැක්වුවහොත් රජයක් විසින් ආයතනයක් හෝ පාරිභෝජකයෙකු දවන ලබන පොසිල ඉන්ධන, ගල් අඟුරු හෝ ගෑස් මත පිටවන කාබන් වෙනුවෙන් අය කරනු ලබන බදු මුදලක් ලෙස දැක්විය හැකිය. දහනය වන පොසිල ඉන්ධන මගින් වායු ගෝලයට මුදා හරින කාබන් හා අහිතකර හරිතාගාර වායු (උදා.කාබන් ඩයොක්සයිඩ් CO2, මීතේන් CH4) විමෝචනය අවම කිරීම මෙවැනි බදු වල අරමුණයි.  විශේෂයෙන්ම පොසිල ඉන්ධන දහනයත් සමග වායු ගෝලයට පිටවන අහිතකර හරිතාගාර වායු නිසා ගෝලීය උණුසුම ඉහල යාම, ග්ලැසියර දිය වීම හේතුවෙන් සාගර ජල මට්ටම ඉහල යාම, එමෙන්ම දුපත් රාජ්‍යයන් සාගර ජලයෙන් යට වීමේ තර්ජනයට මුහුණ දීම ආදී විවිධ කාලගුණික, දේශගුණික හා පාරිසරික ගැටළු රාශියක් අද වන විට ලෝකයේ උද්ගත වෙමින් පවතී. මේ හේතුව  නිසා පොසිල ඉන්ධන දහනය මත වායුගෝලයට කාබන් නිකුත් කරන නිෂ්පාදන හා ආයතන හා වාහන මත කිසියම් බද්දක් අයකිරීම කාබන් බද්ද ලෙස නම් කෙරේ. එමගින් අපේක්ෂා කෙරෙන්නේ වායුගෝලයට අහිතකර වායු නිකුත් කිරීම අධෛර්යයමත් කිරීමත්, පරිසර හිතකාමී ක්‍රම වෙත සමාජය යොමු කිරීමේ අවශ්‍යතාව වෙත සමාජය යොමු කිරීමත් වේ.  ලෝක බැංකුව විසින් 2018 වසර  වන විට වාර්තා කරන පරිදි  මෙම කාබන් බද්ද හෝ කාබන් වෙළඳාම රටවල් 40කට ආන්සන්නව දැනටමත් භාවිත කරයි. කාබන් වෙළඳාම සරලව දැක්වුවහොත් කාබන් වෙළඳාම යනු රටවල් හෝ නිෂ්පාධන කර්මාන්ත විසින් මුදාහරින කාබන් ප්‍රතිශතය මත  බර තැබීම මගින්  කරනු ලබන භාණ්ඩ හා සේවා වෙළදාමයි.  ඒ අනුව නිෂ්පාදන  ආයතනයක් නිෂ්පාදනයේදී වැඩි කාබන් ප්‍රමාණයක් වායුගෝලයට මුදා හරින්නේ නම් එම ආයතනයේ භාණ්ඩ මිලදී ගැනීමේදී  ලෝක වෙළඳපලේ අඩු අගයක් දක්වන අතර අඩුවෙන් කාබන් මුදාහරින ආයතන වල භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී වැඩි අවධානයක් හා වැඩි මුදලක් එම ආයතන  වෙතට හිමි වේ. ඒ අනුව අඩු කාබන් ප්‍රමාණයක් නිකුත් කර නිපදවන භාණ්ඩ සහ සේවා සංදාහ වැඩි අගයක් වෙළඳාම මගින් හිමි වේ.
2018 අංක 35 දරණ මුදල් පණතට යටත්ව වසර 2019 ජනවාරි පළමු වන දින සිට මෙම කාබන් බද්ද ශ්‍රී ලංකාවේද ක්‍රියාත්මක වේ. නමුත් මෙම කාබන් බද්ද දැනට ක්‍රියාත්මක කර තිබෙන්නේ පොසිල ඉන්ධන දහනයෙන් ධාවනය වන වාහන සඳහා පමණි. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අනුව මෙම කාබන් බද්ද වාහන වල ආයුකාල සීමාව සහ ඉන්ධන දහනය අනුව අය කරනු ලබයි.
ඒ අනුව වාහන නිෂ්පාදිත දිනයේ සිට වසට 05 දක්වා, නිපද වූ දින සිට වසර 5ත් 10ත් අතර සහ නිපද වූ දින සිට වසර 10ට වැඩි යන කාණ්ඩ තුන යටතේ මෙම බදු අය කෙරේ.
ඩිසල් හෝ පෙට්‍රල් මගින් ධාවනය වන දෙමුහුන් මොටර්රථ (Hybrid) සඳහා එම වාහනයේ නිෂ්පාදිත දිනයේ සිට අදාළ දිනය දක්වා කාලය වසර 5ට අඩු නම් එන්ජින් ධාරිතාවය  ඉන්ධන ඝන සෙන්ටිමිටරයකට ශත 25ක් ද ,5 ත්10 ත් අතර නම් ශත 50ක්ද වසර 10 ට වැඩි නම් රුපියලක්ද වශයෙන් අයකෙරේ.
ඒ අනුව වාහනයක ආයුකාලය නිපද වූ දින සිට වසර පහකට අඩු නම් දහනය වන ඉන්ධන ඝන සෙන්ටිමිටරයකට ශත 25ක් අයකෙරෙන බැවින්, එන්ජින් ධාරිතාවය 1000ට අඩු වාහනයක් සඳහා අවමය රුපියල් 250ක මුදලක් වාර්ෂිකව ගෙවිය යුතු වේ.
මෙම බද්ද පෙට්‍රල් හා ඩිසල් දහනයෙන් ධාවනය වන වාහන සඳහා අදාළ වාහනය, නිෂ්පාදිත දිනයේ සිට  අදාළ දිනය දක්වා වසර 05 ට අඩු නම් ඉන්ධන දහනය ඝන සෙන්ටිමීටරයකට ශත 50ක් ද, 5ත් 10 ත් අතර වන වාහන සඳහා ඉන්ධන ඝන සෙන්ටි මීටරයකට රුපියලක් ද, වසර 10 ට වැඩි වාහන සඳහා රුපියල්  1.50ක් බැගින්ද අය කෙරෙනු ඇත.
මෙම ගාස්තුව මගී ප්‍රවාහන බස් රථ සඳහා වෙනස් වන අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්ත මේන්තුව මගින් මගී ප්‍රවාහන බස් රථ වලින් මෙම බද්ද අයකරනු ලබන්නේ පහත පරිදිය.
ඒ අනුව මගී ප්‍රවාහන බස් රථයක ආයු කාලය නිෂ්පාදිත දිනයේ සිට වසර 5 ට අඩු නම් රුපියල් 1000ක මුදලක් ද, නිෂ්පාදිත කාලය සිට වසර 5 ත්,10 ත් අතර නම් රුපියල් 2000ක මුදලක් ද, නිෂ්පාදිත කාලය සිට වසර 10 ට වඩා වැඩි නම් රුපියල් 3000ක මුදලක් ද කාබන් බද්ද වශයෙන් අය කෙරෙනු ඇත. මෙම කාබන් බද්ද සෑම විටම අයකෙරෙන්නේ වසර මුල අදාළ වාහන සඳහා ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී ය. ඒ අනුව ආදායම් බලපත්‍රය ලබාගැනීමේදී හෝ රියදුරු බලපත්‍රය අලුත් කිරීමේදී  මෙම මුදල ගෙවීම අවශ්‍ය වේ.

කාබන් බද්දෙහි ආර්ථික පසුබිම.
රජයක් සෑම විටම බදු අය කරන්නේ අරමුණු රාශියක් පදනම් කර ගනිමිනි. මූලිකම අරමුණ වන්නේ රජයට අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීමයි.ඒ අනුව කාබන් බද්ද මගින් රජයට ආදායමක් ජනිත කරයි. ඒ අනුව කාබන් බද්ද රජයට ආදායම් උපදවන මුලාශ්‍රයකි. එය පාරිභෝජන බද්දක් ලෙසද අතෙකින්  හඳුනාගත හැකි වන අතර එය පාරිභෝගිකයන්ගෙන් අය කරනු ලබන සෘජු බද්දකි. ඉන් අදහස්  වන්නේ අදාළ පාරිභෝජකයන් විසින්ම ගෙවිය යුතු බද්දක් වීමය. එනම් බදු මුදල විතැන් කළ (වෙනත් අයෙකු වෙත පැවරිය) නොහැකි නිසාය. එහෙත් මෙම තත්වය මගී ප්‍රවාහන බස් රථ වලට කිසියම් අයුරකින් වෙනස් වේ.ඒ එම බදු මුදල විතැන් කළහැකි වීම නිසාය. එනම් බස් ගාස්තුව ඉහළ නැංවීමෙන් අදාළ මුදල මගීන්ගෙන් අයකර ගැනීමට බස් හිමියන් කටයුතු කළ හැකි නිසාය.
රජයක් මෙවැනි  බද්දකින් බලාපොරොත්තු වන තවත් අරමුණක් සමාජයට අහිතකර කිසියම් භාණ්ඩ හා සේවා පරිභෝජනය අවම කිරීමයි. ඒ අනුව සෘණ බාහිරතා (සමාජයට අහිතකර වන බලපෑම සහිත) අවම කිරීම සහ එවැනි අහිතකර ක්‍රමවේද වෙනුවට සමාජ හිතවාදී ක්‍රම භාවිත කිරීම දිරි ගැන්වීම ද එක අභිලාෂයකි.

වාහන දුම සහ එහි සමාජ පිරිවැය
කෙනෙකුට තමාට අවැසි භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීමට හෝ නිෂ්පාදනය කිරීමට අයිතියක් ඇත. එහෙත් පරිභෝජනය හෝ නිෂ්පාධනය නිසා  සමාජයට හෝ අදාළ නොවන වෙනත් පාර්ශවයකට අයහපත් ප්‍රතිඵලයක් ඇති වේ නම් එය සෘණ බහිරතාවයක් (Negative externality) ලෙස හඳුන්වනු ලැබේ. කෙනෙකු දුම් පානය කිරීම නිසා ඊට සම්බන්ධ නොවන වෙනත් කෙනෙකු අසනීප වීම, කෙනෙකු කර්මාන්ත ශාලාවක් පවත්වා ගනිමින් ඉන් පිට කරන අපිරිසිදු ජලය නිසා අවට ප්‍රදේශවාසින් අපහසුතාවට පත් වීම සෘණ බහිරතාවන්ට උදාහරණ වේ. කෙනෙකු තමන්ගේ පාරිභෝජනයට වාහනයක් භාවිතා කිරීම නිසා එමගින් පිටවන විෂ දුම මගින් පරිසරයට හා මහමග ගමන් කරන ජනතාවට අහිතකර ප්‍රතිඵල ඇති වීමද සෘණ බාහිරතාවයකි. ඒ අනුව තමා පරිභෝජනය කරන වාහනයක් නිසා ඊට සම්බන්ද නොමැති පාර්ශවයන්ට වන අහිතකර බලපෑම සමාජ පිරිවැයකි.
එනම් එම දුම මගින්  මහමග ගමන් ගන්නා අයට රෝග ඇතිවේ. එම රෝග වලට ප්‍රතිකාර ගැනීමට ඔවුන්ට දැඩි වියදමක් දැරීමට සිදුවේ. අවශ්‍ය බෙහෙත් වර්ග රෝහල් වල නැතිනම් ඒවා ගෙන් වීමට රජයට වියදම් දැරීමට සිදුවේ. ඒ එනුව රජයේ සංවර්ධනයට තුබූ මුදල්  වෙනත් කාර්යයකට යෙදවීමට සිදු වේ. ආර්ථිකයේ නිරෝගී ජන සංඛ්‍යාව අඩුවේ. එය රටේ සංවර්ධනයටත්,පුද්ගල සංවර්ධනයටත් බලපායි.අනෙක් අතට එම දුම පරිසරයට හානි කරයි. පරිසර දුෂණය හා වායු දුෂණය ඉහල යයි. එමගින් පරිසරයේ හා ජීවීන්ගේ සුරක්ෂිතතාව තර්ජනයට ලක්වේ. මේ ආදී අයුරින් එක සිදු වීමක් සමාජයේ අහිතකර සිදු වීම් රාශියකට මුල පුරයි.
කාබන් බද්ද සහ වායු විමෝචන සහතිකය (දුම් බද්ද)
කාබන් බද්ද හා වායු විමෝචන සහතිකය යනු එකිනෙකට වෙනස් අයකිරීම් දෙකකි. ඒ අනුව වායු විමෝචන සහතිකය හෙවත් දුම් සහතිකය නිකුත් කරනු ලබන්නේ අදාළ වාහනය ධාවනය කිරීම සඳහා සුදුසු මට්ටමක පවතීද, එමගින් අහිතකර වායු නිකුත් වන්නේද යන්න පිළිබඳව පරීක්ෂා කිරීමටයි.
කාබන් බද්ද මගින් කෙරෙන්නේ පොසිල ඉන්ධන දහනය කිරීම මගින් වායු ගෝලයට නිකුත් කරන කාබන් ප්‍රමාණය වෙනුවෙන් ඒ ඒ වාහනයේ එන්ජින් ධාරිතාවය හා ආයු කාලය මත බදු මුදලක් අය කිරීමයි. ඒ අනුව එය අදාළ වාහන මගින් ඇති කරනු ලබන සමාජ පිරිවැය වෙනුවෙන් නැවත කරන ලබන ගෙවීමක් ලෙස හඳුනා ගත හැකිය. ආර්ථික විද්‍යානුකුලව දක්වවහොත් එය බහිරතා අභ්‍යන්තරකරණය (internalizing externalities) ලෙස පෙන්වා දිය හැකිය,එනම් තමා විසින් සමාජයට කරනු ලබන අයහපත වෙනුවෙන් වන්දියක් ලෙස කිසියම් මුදලක් නැවත සමාජයට ගෙවිමයි.

කාබන් බද්දක් මගින් පමණක් පාරිසරික සුරක්ෂිත බව ගොඩ නැගිය හැකිද?
කාබන් බද්ද මගින් සමාජයේ ඉන්ධන දහනයෙන් ක්‍රියාත්මක වන වාහන භාවිතය තරමක් දුරට අවම කිරීමටත්, වෙනත් විකල්ප බල ශක්ති ප්‍රභව භාවිතයට සමාජය යොමු කිරීමටත් කිසියම් පෙළඹවීමක් ඇති කරයි. ඒ අනුව පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතය දිරි ගැන්වීමත් ඒ සඳහා සමාජ පෙළඹවීමක් ඇති කිරීමත් ඒ ඔස්සේ අපේක්ෂා කරයි. ඒ අනුව ආණ්ඩුව විසින්ද එම බලශක්ති ප්‍රභව වල ආයෝජනය කිරීමත්, ඒ සඳහා සමාජයට අවශ්‍ය සහය ලබා දීමත් සිදු කිරීම අත්‍යාවශ්‍ය සාධකයකි. එසේ නොවන්නට මෙය  තවත් එක බද්දක් පමණක්ම වනු ඇත.
එහෙත් ආණ්ඩුවක කාර්ය විය යුත්තේ මෙම බද්ද මගින් එකතු කරගන්නා මුදල් තුලින් පරිසරය රැක ගැනීමටත්, සමාජ සුරක්ෂිතතාව රැකගැනීමටත් ආයෝජනය කිරීමයි. එසේ නොමැතිව හුදු අයවැය පරතරය පියවා ගැනීමට හෝ, මැති ඇමැතින්ගේ වාහන මිලදී ගැනීමට යොදා ගතහොත් එමගින් සමාජයට කිසිදු යහපතක් ඇති නොවේ. එහි ප්‍රතිඵලය වන්නේ පරිසර හානිය හා සමාජ පිරිවැය තවත් ඉහල ගොස් ජනතාව මත තව තවත් බදු බර පතිත වීමයි.
රටකට ආණ්ඩුවකට ඉතා නිවැරදි හා තිරසාර ඉලක්ක තිබිය යුතුය. ජනතාවගෙන් ලබා ගන්නා මුදල් ඵලදායිව ආයෝජනය කළ යුතු ය. එම බදු මුදල් වලින් නැවත ප්‍රතිලාභ ජනතාවටම ලබා දිය යුතුය. තිරසාර සංවර්ධනය  යනු හුදෙක් වනාන්තර විනාශයෙන්, පරිසර දුෂණයෙන් ලබන සංවර්ධනයක් නොවේ..  එය ලබා ගත හැක්කේ පරිසරයේ තිරසරභාවය ආරක්ෂා කරගනිමින්, ජනතාවගේ හා සමාජයේ තිරසරභාවය රැක ගැනීම තුලින් ලබා ගන්නා සංවර්ධනයක් තුල පමණි.
අවසානය බලන විට සංවර්ධනය වූ රටක් ව ගහකොළ, සීතල සුළඟ හෝ ගහකොළ සතා සීපාවා නොමැති කාන්තාරයක්ව තිබෙන රටක ලබන සංවර්ධනයෙන් කිසිඳු ඵලයක් නොමැත. අවශ්‍ය වන්නේ බදු අයකලත්, ඒවා නිවැරදිව කළමනාකරණය කරමින්,පරිසරය හා ජනතාව රැකගෙන වඩා යහපත් සමාජයක් උදා කිරීම වෙනුවෙන් ආර්ථිකය මෙහෙය වීමයි.

                                                    *********

Comments

Popular posts from this blog

ගෝලීය ත්‍රස්‌තවාදයේ දේශීය බලපෑම හා ආර්ථික අස්ථාවරත්වය