ශ්‍රී ලංකාවේ දිනපතා ඉහළ යන ජීවන වියදම, එහි ප්‍රතිඵල ජනතා ආර්ථිකයට කරන බලපෑම
සහ එදිනෙදා ආර්ථිකයේ සිදුවීම් පිළිබඳ ජනතාව දැනුවත් විය යුත්තේ ඇයි?
සටහන- ඉසුරු සම්පත්
තෙන්නකෝන්.
‘සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම අත්සන්
කෙරේ’,අද මධ්‍යම රාත්‍රියේ සිට තෙල් මිල ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.’ ‘ආනයනික එන්ජින්
ධාරිතාව අශ්වබල 1000ට අඩු මෝටර් රථ සඳහා අද
රාත්‍රියේ සිට බදු ඉහළ දමනු ලැබේ’. ‘ආනයනික පළතුරු සඳහා ආනයනික තීරු බද්දක් පැනවීමට රජය තීරණය කරයි’. සෑම පුරවැසියෙකුම
මාසික ආදායම මත ආදායම් බදු ගෙවීම සඳහා බදු ලිපි ගොනුවක් ලබා ගතයුතු ය.” ආදී විවිධ තොරතුරු
මේ දිනවල අපට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යය ඇසුරෙන් අසන්නට දකින්නට ලැබේ.
පොදු ජනතාව හුදෙක් මේ පුවත් නිකුත්වූ විගස ඒවා අසමින්, ඇතැම්විට ඒවාට ප්‍රතිචාර දක්වමින් කල් ගෙවන ආකාරය දක්නට ලැබේ. ඉනික්බිති
දින කිහිපයකට පසු මේ කිසිවක් නොවුණු අයුරින් නැවතත් සිය කටයුතු සිදු කිරීමට පටන් ගනී.
රටේ බොහෝ දෙනෙකුට මෙම තීරණ හා ඒවායේ ආර්ථික ප්‍රතිවිපාක පිළිබඳව ගැඹුරු අවබෝධයක් හෝ
කියැවීමක් නොමැති තරම්ය. එයට හේතුව බොහෝ දෙනෙකු ආර්ථික සංසිද්ධීන් සිදු වූ මොහොතේ සංවේදී
වෙනවා විනා එහි පශ්චාත් ප්‍රතිඵල පිළිබඳව වැඩි සැලකිල්ලක් නොදැක්වීම විය හැකිය.
ඇතැම්විට පවතින ආර්ථික සමාජමය හා දේශපාලනික තත්වය මත මිනිසුන්ට ඒ පිළිබඳව සිතන්නට හෝ
කතා කරන්නට කාලයක් නොමැති වීම විය හැකිය.
මෙවැනි තීරණ බොහොමයක් ආර්ථික විද්‍යාව මත විග්‍රහ
කළ හැකි වුවද ආර්ථික විද්‍යාව නොදත් සාමාන්‍ය පුද්ගලයෙකුට පවා කිසියම් විමර්ශනයක්,
කතිකාවක් ගොඩ නැගීමට ඔහු තුල තිබෙන සමාජ අවබෝධය හා දැනුම අනුව ඉවහල් විය හැකිය. මේ
ලිපිය යටතේ අවධානය යොමු කෙරෙන්නේ පොදුවේ මෙවැනි සංසිද්ධීන් පිළිබඳ සමාජයට අවබෝධයක්
සැපයීමත් රටේ ආර්ථිකය හා ආර්ථිකමය තීරණයන්ගේ ප්‍රතිවිපාක පිළිබඳ කතිකාවක් පොදු මහජනයා
තුළ ඇති කිරීමට පෙළඹවීමක් ඇති කිරීමත් අරමුණු කරගෙනය.
රටක හෙවත් ආර්ථිකයක මූලික ආර්ථිකමය තීරණ සමස්ත
ආර්ථිකයේම විවිධ අංශ හා ක්‍රියාකාරකම් කෙරෙහි බලපායි. එක සිදු වීමක් තවත් සිදුවීම්
සමුහයකට හේතු විෂය සපයයි. උදාහරණයක් ලෙස ඉන්ධන මිල ඉහල යාම පිළිබඳව විමසා බලමු.
කිසියම් අවස්ථාවක ඉන්ධන මිල ඉහල ගියහොත් එය වාහන භාවිතා කරන පුද්ගලයන්ගේ වියදම ඉහල
යාමට බලපායි. පොදු ප්‍රවාහන සේවා නම් ඒවායේ ගමන් ගාස්තුව ඉහල දමනු ලැබේ. ඉන් අනතුරු
ව මගීන්ට දරන්නට වන ගමන් ගාස්තුව ඉහල යයි. ඉන්ධන මිල ඉහල ගිය විට අනෙකුත් ආහාර පාන
වල පවා මිල ඉහල යා හැකිය. ඒ අනුව ආදායමෙන් භාණ්ඩ හා සේවා මිලට ගැනීමට වන වියදම ඉහල
යයි. වියදමට සාපේක්ෂව වැටුප ඉහල නොයන්නේ නම් වියදම් පියවා ගැනීමට ණය ගැනීමට හෝ පවතින
දේපල සම්පත් විකිනීමට සිදුවේ. ඒ නිසා ණය ඇතිවේ. ණය නිසා විවිධ ගැටළු මතු වී ඇතැම්විට
පවුලේ ආර්ථිකය කඩා වැටෙන්නටද බලපානු ලැබේ. වැටුප් ප්‍රමාණවත් නොමැතිකම නිසාත්, ආදායම
අඩු නිසාත් ආයතන වල සේවකයන්ගේ උත්ගෝෂණ, පෙළපාලි වැනි දේ සිදුවේ. ඇතැම් විට රට පුරා
හොර මැරකම් ඉහල යා හැකිය. ඒ ආදායමක් නැති නිසා මිනිසුන් සමාජ විරෝධී ක්‍රියා වලට පෙළඹෙන
නිසාය.
ඉහත දක්වන ලද්දේ එක සිදුවීමක් පමණි.මෙවැනි සිදුවීම්
විශාල ප්‍රමාණයක් ආර්ථිකයේ දිනපතාම පාහේ සිදුවේ. ඒවා යහපත් හෝ අයහපත් අයුරින් බලපාන
අතර එම වෙනස්කම් හා ප්‍රතිඵලයන්ද මේ හා සමානව විග්‍රහ කළ හැකිය.
මේ තත්වය කුටුම්බයකට පමණක් නොව රටක් ලෙස ගෙන
බැලුවද ඒ හා සමානය. රටක් ඵලදායි නොවන කටයුතු සඳහා ණය ගැනීම හෝ නිසි දුර දැක්මකින් තොරව
ගිවිසුම් අත්සන් කිරීම හෝ නිවැරදි ආර්ථික දර්ශනයක් නොමැතිව තීරණ ගැනීම ඉතා අහිතකර
ප්‍රතිඵල ජනිත කරයි.
කිසියම් අයහපත් ගිවිසුමක් ආර්ථිකයෙහි පාලකයන්
අත්සන් කළේ යැයි සිතන්න. එය වෙළඳාමට සම්භන්ධ ගිවිසුමක් යැයි උපකල්පනය කළහොත් සාමාන්‍ය
ජනතාවට මේ ගිවිසුම තමන්ට අදාළ දෙයක් නොව සමාගම් වලට පමණක් අදාළ ගිවිසුමක් ලෙස කල්පනා
කර නිහඬව සිටිය හැකිය. එහෙත් එය සැබෑ තත්වය නොවේ. ආර්ථිකයක් ලෙස එලෙස ගන්නා සියලුම
තීරණ ජනතාවගේ ආර්ථිකය හා ඔවුන්ගේ අනාගතය තීරණය වීම කෙරෙහි බලපායි. අවසාන වශයෙන් ඕනෑම
තිරණයක ප්‍රතිඵලය භුක්ති විඳින්නේ තීරණය ගත් පිරිසට වඩා එහි ප්‍රතිඵලය ලබන මහජනතාව
නිසාවෙනි. කිසියම් යහපත් ගිවිසුමක් නිසා හොඳ
ප්‍රතිලාභයක් ලැබීමත් එලෙසමය. බොහෝ විට මිනිසුන් සිය මතය ගොඩ නැගෙන්නේ අසන, දකින හෝ
යමෙක් කියන ප්‍රකාශ ඇසුරේ ය. එහෙත් එම කියමන් කොතරම් දුරට සත්‍යදැයි වටහා ගැනීමට ඔවුන්ට
කිසියම් අවබෝදයක් අවශ්‍ය වේ. නැතහොත් ඒ පිළිබඳව ජනතාව අතර කිසියම් සංවාදයක් ගොඩ නගා
ගත යුතුය. බොහෝවිට වෙළඳ ගිවිසුම් ආදියෙහි නරක කතිකාවට ලක් වුවත් එහි යහපත් ප්‍රතිඵලයන්
කෙරෙහිද අවධානය යොමු කරමින් කිසියම් නිගමනයක් කිරීමට අවස්තාව ලැබේ.
සෑම මිනිසෙකුම ආර්ථික මිනිසෙකි. එහෙයින් බොහොමයක් මින්නිස් හැසිරීම් ආර්ථිකමය ප්‍රතිලාභ
මත තීරණය වන අතර එසේ නොවන අවස්ථාවන්ද තිබෙන බව කෙනෙකුට තර්ක කල හැකිය.
රටක ආර්ථිකය යනු දේශපාලන නියෝජිතයන්ට හෝ කිසියම් පිරිසකට අයිති උරුමයක් හෝ ඔවුන්ගේ
දේපලක් නොවේ. එය සමස්ත ජනතාවගේම අයිතියකි. ආර්ථිකයේ අද සිදුවන වෙනස්කම් අනාගතයේ ඔබ
හෝ ඔබේ දරුවාගේ අනාගතය තීරණය කරයි. එහි තීරණ ගැනීමේ අයිතිය ඔබ විසින් කිසියම් පිරිසකට
හෝ පාර්ලිමේන්තුවට පවරා තිබේ. එහෙත් එම තීරණ යහපත් වුවත් අයහපත් වුවත් කිසිවෙකුට ඒ
වගකීමෙන් ගිලිහී යා නොහැකිය. ඇතැම්විට පාලකයන් හෝ ආර්ථිකයක නියමුවන් තෝරා ගන්නා ලද්දේ
ඡන්දයකින් නම් කැමැත්ත ප්‍රකාශ කළ පිරිස පමණක්ම හොඳ හෝ නරක ප්‍රතිපල නොලැබෙන අතර බොහෝ විට කැමැත්ත ප්‍රකාශ නොකළ
පිරිසටද ප්‍රතිඵල ලැබීම සිදුවේ. ඒ එහි හොඳ හෝ නරක ප්‍රතිලාභ කැමැත්ත ප්‍රකාශ කළ හෝ
නොකළ දෙපිරිසටම භුක්තිවිඳීමට සිදුවන නිසාය. ආර්ථික විශේෂඥයන් ගන්නා තීරණයක් වුවත් රටට
අහිතකර නම් ඒ පිළිබඳව විමසීමට, කතිකා කිරීමට සෑම පුරවැසියෙකුටම අයිතියක් තිබේ.
කෙනෙකුගේ උගත්කම හෝ බලතල මත ආර්ථිකයකට අහිතකර තීරණ ගැනීමට කිසිඳු අයිතියක් නැත.
වසර 1960 දශකයේ ආසියානු කලාපයෙන් ශ්‍රී ලාංකානු
ආර්ථිකය දෙවැනි වූයේ ජපාන ආර්ථිකයට පමණි. එහෙත් වර්තමානය වන විට අපගේ ආර්ථිකය කොතැනද
යන්න වීමසා බැලුවහොත් අපගේ ආර්ථිකයේ පසු බෑම වටහාගත හැකිය. කොරියාව එදා සිටි තත්වයත්
අද සිටින තත්වයත් මදකට විමසා බලන්න. වසර 1960 වන විට කොරියාවේ ඒක පුද්ගල ආදායම ඩොලර්
110ටත් අඩුය. ශ්‍රී ලංකාව ඩොලර් 150 මට්ටමේ සිටි අතර වසර පනස් අටකට පසු වර්තමානය වන විට ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4000කි. කොරියාවේ එය ඩොලර් 20,000 ඉක්මවයි. ජපානය, චීනය හෝ තායිලන්තය
නැතහොත් සිංගප්පුරුව ආශ්‍රිත අත්දැකීම් විමසා බැලුවහොත් එම රටවල් හා අප ආර්ථිකයේ වෙනස්වීම
මෙයට අතිශයින් සමානය. මේ සියල්ල කිසියම් විශ්වකර්මයක් නොවේ. එම රටවල් ආර්ථිකයේ සාධනීය
ඉල්ලක්කයන් සපුරා ගනු ලැබුයේ නිවැරදි ඉලක්කයන් කරා ආර්ථිකය මෙහෙයවූ ආර්ථික
විශේෂඥයන් හා එම ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවූ පාලකයන් නිසාය.
අද වන විට ආර්ථිකයේ සැලකියයුතු උද්දමනයක් දක්නට
ලැබේ. උද්ධමනය යන්නෙන් අදහස් කරන්නේ සාමාන්‍ය භාණ්ඩ හා සේවා වල මිල මට්ටම ඉහල යාමයි.
භාණ්ඩ සේවා මිල මට්ටම ඉහළයාම යනු ඒ භාණ්ඩ මිලට ගැනීමට ජනතාවට දැරීමට යන වියදම ඉහල යාමයි. ඒ අනුව
ආදායම වෙනස් නොවී සාපේක්ෂව වියදම ඉහල යාම නිසා ජනතාවගේ එදිනෙදා ජීවිතය කෙරෙහි ප්‍රබල
බලපෑමක් එල්ල වී තිබීමයි. මෙවැනි සංසිද්ධි අවබෝධ කරගැනීමට ගැඹුරු ආර්ථික සංකල්ප ජනතාව
සතුව තිබිය යුතු නැත. කිහිප දෙනෙකු සමඟ මගතොටේ දී, කඩපලේදී හෝ බස් රථයක දී සිදුවන කතාබහෙන්
පවා යම් අවබෝධයක් ලබාගත හැකිය. ඇතැම්විට ජනතාව සිය දේශපාලකන්ට හෝ ආර්ථික තීරකයන්ට දොස්
පවරමින් තැවෙයි. එහෙත් තේරුම් ගතයුතු එකම දෙය වන්නේ ඔබ වෙනුවෙන් තීරණ ගන්නේ ඔබේ අනාගතය ගැන තීරණ ගැනීමට ඔබ විසින්ම දිනෙක පත්කරනු
ලැබූ පිරිසම බවය. අවසාන වශයෙන් එම සියල්ලෙහිම වගකීම නැවත ජනතාව වෙතම පැවරෙයි.
රටක වෙසෙන පුද්ගලයන්ගේ දේශපාලන හා ආර්ථික අපේක්ෂා
විවිධ විය හැකිය. එහෙත් ජනතාව හුදු දේශපාලනික අභිමතාර්ථයෙන් වියුක්තව ආර්ථිකයේ ක්‍රියාකාරකම් පිළිබඳ අවබෝධයක් නොලබන තුරු
හෝ ඒ පිළිබඳ කථිකාවක් සමාජයේ ඇති නොවන තුරු පාලකයන්ට හෝ දුර දැක්මක් නොමැති ආර්ථික
තීරකයන්ට ආර්ථිකය සිය අභිමතය අනුව මෙහෙය විය හැකිය. මේ ලිපිය අනුව මා අවධාරණය කිරීමට
අපේක්ෂා කරනු ලැබුයේ රටෙහි ආර්ථිකය හා ආර්ථික සිදුවීම් පිළිබඳව පොදු ජනතාව තුළ කිසියම්
කියැවීමක් හා සංවාදයක් ඇතිවිය යුතු බවත්, එම සංවාදය හෝ කතිකාව අනාගත ආර්ථිකයේ ප්‍රතිසංස්කරණයන්ට
ඵලදායි ක්‍රමවේදයක් වියහැකි බවත් ය. රටක ජනතාව ජීවත් නොවන්නේ නම් එරටට ආර්ථිකයක් නැත.
ආර්ථිකය යනු ජනතාව ම ය. ආර්ථිකයක ක්‍රියාකාරකම් යනු ජනතා ක්‍රියාකාරකම්ය. එනම් ආර්ථිකය
යනු අප විසින් අපගේම සංවිධානයෙන්, තීරණ මගින් ගොඩනැගූ ප්‍රපංචයකි. එමෙන්ම මෙම ලිපියෙන් තම තමන්ගේ ආර්ථිකයේ හා රටෙහි අනාගත
ආර්ථිකයෙහි නියමුන් වන ජනතාව කෙරෙහි ඒ පිළිබඳ කිසියම් කියැවීමක් ප්‍රගුණ කිරීමට උනන්දු
කෙරේ. එවැනි ක්‍රමවේදයක් හා සංවාදයක් තුළින් විනා සාම්ප්‍රදායික ක්‍රමවේදයෙන් ඵලදායි
ආර්ථිකයක් හෝ ආර්ථික තීරණ ගන්නා ක්‍රමවේදයක් හා ජනතාවාදී සමුහයක් ගොඩනැගීම මිරිඟුවක් වනු ඇත.
***
Comments
Post a Comment