ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවයේ සංඛ්‍යාත්මක අඩුවීමට සාපේක්ෂව ආර්ථිකයේ අසමානතාවය වෙනස්වීම පිළිබඳ අධ්‍යයනයක්.
සටහන- ඉසුරු සම්පත් තෙන්නකෝන්,
ගෝලීය සංවර්ධන සන්දර්භය තුළ දරිද්‍රතාවය යන සංකල්පය වර්තමානය වන විට සංවර්ධන ගැටළුවක් වශයෙන් සියලුම ආර්ථිකයන් පොදුවේ මුහුණදෙන ගැටළුවක් බවට පත් වී තිබේ. දරිද්‍රතාව යන සංකල්පය ගෝලීය වශයෙන් හදුනා ගැනීමේ දී මුල් කාලයේ දී දරිද්‍රතාව යන්න මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වන සම්පත් හිගතාවය ලෙස හදුනාගනු ලැබුණු අතර වර්තමානය වන විට එය විස්තීර්ණ සංකල්පයක් බවට පත්ව තිබේ. දරිද්‍රතාවය පිළිබඳව වන කතිකාව ශ්‍රී ලංකාව තුල සාකච්ඡාවට බදුන් වීම ඇරඹෙන්නේ 1940 දශකයේ සිට ය. ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව තුරන්කිරීම හා අසමානතාවය අවම කිරීම සඳහා වන අවශ්‍යතාවය 1940 දශකයේ සිට මෙරට ඉස්මතු විය. ඒ අනුව මෙරට දරිද්‍රතාවය තුරන්කිරීම සඳහා වන විවිධ වැඩසටහන් ක්‍රියාවට නැගෙන අතර වසර 2018 වන විට එම අංශයන්හි වෙනස්වීමත් ඒවා ඇසුරෙන් දරිද්‍රතාවයට හා සම්පත් බෙදියාමේ විෂමතාවයට සිදුවී තිබෙන බලපෑමත් අධ්‍යනය මේ ඇසුරෙන් අපේක්ෂා කෙරේ.
දරිද්‍රතාවය යනු ගෝලීය සංවර්ධන ගැටලුවකි. දරිද්‍රතාවය හෙවත් දුප්පත්කම යන්න සරලව හදුන්වාදිය හැක්කේ අවම වශයෙන් මූලික අවශ්‍යතාවන් වත් සපුරාගත නොහැකි තත්වයක් ලෙසය. එහෙත් දරිද්‍රතාව සඳහා වන නිශ්චිතව නිර්වචනයක් නොමැති අතර විවිධ නිවචනයන් පවතී.
දරිද්‍රතාවය යනු ප්‍රමාණවත් නොවන ආර්ථික සම්පත් හා පරිභෝජනය සමඟ සම්බන්ධ වී ඇති ශාරීරික හා මානසික යහපැවැත්මේ හිඟකමයි. (Baratz & Grigsdby,1971.)
දරිද්‍රතාව යනු යහපැවැත්මෙන් වියුක්ත වීමයි. (ලෝක බැංකුව. 2000)
දරිද්‍රතාවය යනු තනි පුද්ගලයෙකු හෝ කුටුම්බයක් විසින් තම මුලික අවශ්‍යතාවයන් හොදින් සපුරා ගැනීමේ ඉඩප්‍රස්ථා වලින් බැහැරව, තිරසාරත්වය හා යහපැවැත්මෙන් යුතුව ජීවත්වීමේ තත්වය අහිමි කිරීමට හේතුවන්නකි. ( Barat,2007 )
ජාතීන්ගේ සංවිධානයේ නිර්වචනයට අනුව දරිද්‍රතාව යනු තෝරා ගැනීම් අවස්ථාවන්හි පවතින හිඟ කමයි.
දරිද්‍රතාවය හුදෙක් මුල්‍යමය හිඟකමක් හෝ ආර්ථිකමය හැකියාවන්ගේ අඩුකමක් ලෙස අර්ථ දැක්විය නොහැකිය. එය සමස්ත ආර්ථික,සමාජ ,දේශපාලනික හා සංස්කෘතික ප්‍රපංචයන්ගේ විහීනතාවයන් හෙවත් ඌනතාවයන් ඇසුරින් ඉස්මතුවන ගැටලුවකි.
මෙම ලිපිය ඇසුරේ අධ්‍යනය අරමුණු වන්නේ
1. ශ්‍රී ලංකාව දරිද්‍රතාවය මුළුමනින්ම තුරන්කිරීම සඳහා පියවර ගතයුතුය’ යන්න කතිකාවට පැමිණ තිබෙන අවදියක අවධානය අවම වූ අංශයක් වන දරිද්‍රතාව හා අසමානතාව පිළිබඳ අධ්‍යයනය කිරීම.
2. ආර්ථිකයේ අනාගතයේ ප්‍රබල ලෙස සමාජ, ආර්ථික හා දේශපාලන වශයෙන් ඇතිවිය හැකි සම්පත් බෙදීයාමේ විෂමතාවය ආශ්‍රිත ගැටළු හදුනා ගැනීම.
3. සංඛ්‍යාත්මක දරිද්‍රතා අනුපාතය අඩුවීමට වඩා ඉන් එහාට ගිය ගැඹුරු ආර්ථිකමය ගැටළු පවතින බව සමාජයට ඉස්මතු කිරීම යි.
ඒ අනුව මෙම ලිපියෙන් කෙරෙන්නේ ලංකාවේ පසුගිය දශක කිහිපය තුළ ක්‍රමිකව සිදුව තිබෙන දරිද්‍රතා අනුපාතයේ සංඛ්‍යාත්මක අඩුවීමට සාපේක්ෂව සම්පත් බෙදියාමේ අසමානතාවය ද සැලකියයුතු වෙනස්වීමක් දක්නට ලැබේ ද යන්න අධ්‍යයනය කිරීමයි.
ශ්‍රී ලංකාව ඇසුරේ දරිද්‍රතාවය අධ්‍යයනය කිරීමේ දී මූලිකවම අධ්‍යයනය කෙරෙන්නේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් කුටුම්බ ආදායම් හා වියදම් සමීක්ෂණයට අදාලව නිකුත් කරන ලද දත්ත හා වාර්තා ඇසුරෙණි. පසුගිය දශක කිහිපයක තොරතුරු මෙම අධ්‍යයනයේ දී මූලිකව ම භාවිත කරමින් සන්සදනාත්මක විශ්ලේෂණයක් සැපයේ. ඊට අමතරව දරිද්‍රතාවය හා අසමානතාවය පිළිබඳව විවිධ ආයතන හා පර්යේෂකයන් සිදුකරනු ලැබූ පර්යේෂණ, ප්‍රකාශන හා දත්ත අධ්‍යයනය ඇසුරෙන් අවශ්‍ය දත්ත හා තොරතුරු මුලාශ්‍ර සම්පාදනය වේ.
ශ්‍රී ලංකා ජන හා සංඛ්‍යා ලේඛන වාර්තා ඇසුරේ ආර්ථිකයේ දක්නට ලැබෙන දරිද්‍රතා උපනතීන් අධ්‍යයනය කිරීමේ දී වසර 1990/91 වසරවල පැවති 26.1% දරිද්‍රතා අනුපාතය 1995/96 වසරවල 28.5% දක්වා ඉහල ගොස් 2012/13 වන විට 6.7% දක්වා අඩු වීමක් පෙන්නුම් කරයි. එම තත්වය වසර 2016 වන විට 4.1% දක්වා අඩුවීමක් වාර්තා වේ.
ජන හා සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුවේ සමීක්ෂණ වාර්තා අනුව ලංකාවේ ශිර්ෂ දරිද්‍රතා අනුපාතය(poverty head count ratio) වෙනස්වීම පහත පරිදි වේ.
1995/6=28.8% , 2002= 22.7%, 2006/7= 15.2%, 2009/10= 8.9%, 2012/13=6.7%, 2016=4.1%
ඒ අනුව සමස්ත ජනගහනයෙන් ඉහළ දරිද්‍රතාවයෙන් පෙලෙන ප්‍රතිශතය සැලකියයුතු ලෙස පසුගිය දශක දෙකෙහි අඩුවී තිබේ. ජන හා සංඛ්‍යා ලේඛන වාර්තා අනුව අධ්‍යයනය කිරීමේ දී මෙරට දරිද්‍රතා අනුපාතය අවම වුවත් සැලකියයුතු ලෙස සම්පත් බෙදීයාමේ සමානත්වයක් හදුනාගත නොහැකි වේ.
ආර්ථිකයක සම්පත් බෙදියාමේ අසමානතාවය අධ්‍යයනය කිරීම සඳහා භාවිත කරන්නේ ජිනී සංගුණකය යි. එය නිර්මාණය කරන්නේ ලෝරන්ස් වක්‍රය ඇසුරෙනි. ලෝරන්ස් වක්‍රයෙන් කෙරෙන්නේ රටක කුටුම්භ ආදායම් ව්‍යාප්තියේ තරම ගණනය යි. ඒ අනුව ඉතා දුප්පත් හා ධනවත් පවුල් අතර ආදායම් බෙදීයාමේ තරම ගණනය කිරීමෙන් මෙහි අගයන් වාර්තා කෙරේ. ඒ අනුව ජිනී සංගුණක අගය 0 හා 1 අතර පිහිටයි. එම අගය බින්දුවට ආසන්න නම් ආර්ථිකය සම්පත් බෙදීයාමේ අසමානතාවය හෙවත් ඇති නැති පරතරය අඩුවේ. එම අගය 1ට ආසන්න නම් ආර්ථිකයේ ආදායම් ව්‍යාප්තියේ විෂමතාවය ඉහළ වේ.
වසර 1985 සිට 2016 තෙක් ජන හා සංඛ්‍යා ලේඛන දත්ත අධ්‍යයනය කරනවිට මෙරට සම්පත් බෙදීයාමේ විෂමතාවයේ තරම පැහැදිලිව පෙනීයයි. වසර 1985/86 වන විට 0.46ක පැවතී අගය 1990/91 වන විට සැලකියයුතු ප්‍රතිශතකමය අඩුවක් පෙන්නුම් කරයි. එනම් එම අගය 0.43 දක්වා අඩු වී තිබේ. එහෙත් එම සම්පත් බෙදීයාමේ විෂමතාව ඉන් පසු වසර කිහිපය තුළ ක්‍රමික ඉහල යාමක් වාර්තා වේ. එම අගය ඉහලම අගයන් වාර්තා වන්නේ 2006 වසරේ සිට 2010 වසර දක්වා කාළය තුළය. වසර 2016 වන විට මෙරට අසමානතාවය එනම් සම්පත් බෙදී යාමේ විෂමතාවය ගිනි අගය 0.45 දක්වා අඩු වීමක් පෙන්නුම් කරයි. එහෙත් එම තත්වය තුළ වුවත් මෙරට ජාතික ආදයම අඩු ආදායම් ලබන කණ්ඩායම් වෙත බෙදී යාමේ දැඩි විෂමතාවයක් පෙන්නුම් කරයි. විශේෂයෙන්ම අසූව දශකයෙන් පසු මෙරට දරිද්‍රතාව පිටු දැකීම සඳහා විවිධ සමාජ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක විය. ජනසවිය වැනි සමාජ සහනාධාර ව්‍යාපෘති ඇරඹීමත් සමග දරිද්‍රතාව අවම කිරීමට විවිධ පියවර ගැනිණි.එතැන් සිට අද දක්වා එම වැඩසටහන් විවිධාකාරී අයුරකින් ක්‍රියාත්මක වේ. රටේ පැවතී යුධමය වාතාවරණය මෙරට දරිද්‍රතාව හා අසමානතාව ඉහල යාමට මූලිකවම බලපානු ලැබු බව බොහෝ විචාරක මතයයි. එහෙත් යුධ තත්වය නිමාව තිබෙන යුගයක පවා එසේ ඉහල ආදායම් ව්‍යාප්ති විෂමතාවයක් පවතින්නේ නම් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම අත්‍යාවශ්‍යය වේ.
ශ්‍රී ලංකාවේ සළකා බලන වසර කිහිපයක දී ගිනි සංගුණකය වෙනස්වීම.
1985/86= 0.46, 1990/91= 0.43, 1995/96= 0.46, 2002= 0.47, 2005= 0.47, 2006/7= 0.49, 2009/10= 0.49,
2012/13= 0.48, 2016= 0.45
පසුගිය දශක කිහිපය තුළ රටේ අඩුම ආදායම් ලබන 10% ජනගහන ප්‍රතිශතය හා ඉහලම ආදායම් ලබන ධනවත් ප්‍රතිශතය අතර ආදායම් වෙනස වසර 1990 සිට 2012/13 දක්වා බලන විට දැඩි ආදායම් ව්‍යාප්ති විෂමතාවයක් දක්නට ලැබේ. ඒ අතර ප්‍රතිශත වෙනස 38% ඉක්මවයි.
වසර 2016 කුටුම්භ ආදායම් වියදම් සමීක්ෂණයට අනුව මෙරට අඩුම ආදායම් ලබන 20% සඳහා සමස්ත ජාතික ආදායමෙන් බෙදීයන්නේ 6%ක් තරම් වූ සුළු කොටසකි. එහෙත් ඉහල ආදායම් ලබන 20% මෙරට ජාතික ආදායමෙන් හරි අඩක් එනම් 50%ක් පරිභෝජනය කරයි. ඒ අනුව ආර්ථිකයේ දැඩි සම්පත් බෙදීයාමේ විෂමතාවයක් පෙන්නුම් කරයි.
ශ්‍රී ලංකාව අඩු ආදායම් ලාභී ආර්ථිකයක සිට පහල මැදි ආදායම් ආර්ථිකයක් දක්වා වර්ධනය වී තිබේ. ඒක පුද්ගල ආදායම වසර 2018 වනවිට ඩොලර් 4000 ඉක්මවා තිබේ. දරිද්‍රතාවය 4.1 දක්වා අවම වී තිබේ. සේවා වියුක්තිය සැලකියයුතු අඩුවීමක් වාර්තා කර තිබේ. එහෙත් ආදායම ව්‍යාප්ති විෂමතාවය තවමත් සැලකියයුතු ඉහළ මට්ටමක වාර්තා වී ඇත.
මෙම සම්පත් බෙදීයාමේ අසමානතාව අවම කිරීමට නම් ඉල්ලක්කගත හා සැලසුම්ගත ලෙස සමාජ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කල යුතුවන අතර නිවැරදි හා ඉල්ලක්කගත ආර්ථික ප්‍රතිපත්තියක් ඒ සඳහා අත්‍යවශ්‍ය වේ. දරිද්‍රතාවයේ සංඛ්‍යාත්මක අඩුවීම පමණක් නොව ගුණාත්මක අඩුවීමක් සහ සම්පත් සමානව බෙදා හැරීමේ ක්‍රමවේදයකට ප්‍රවේශ වීම අනිවාර්ය වේ.
*******
Comments
Post a Comment