රුපියල අවප්‍රමාණය මෙරට ආර්ථිකයට බලපාන්නේ කෙසේද?
සටහන-ඉසුරු සම්පත් තෙන්නකෝන්.
රටක භාවිත මුදලක අවප්‍රමාණය ලෙස හදුන්වනු ලබන්නේ වෙනත් රටක මුදල් ඒකකයකට සාපේක්ෂව සලකා බලන රටෙහි මුදලේ
අගය අඩු වීමයි. නැතහොත් අදාළ රටෙහි මුදලට සාපේක්ෂව වෙනත් රටවල් වල මුදල් වටිනාකම
ඉහළ යාමයි.
එය සරල උදාහරණයකින් විමසා බැලුවහොත් වසර 2016 දී ඩොලර් 1ක මිල රුපියල් 100 යයි සිතමු. එනම් 2016වසරේදී ඩොලරයක් මිලට ගැනීමට ලංකා රුපියල් රුපියල් 100ක් අවශ්‍ය වේ.. එහෙත් එම
ඩොලරය 2017 වසරේ මිල දී ගැනීමට රුපියල් 120ක් ක් වැය වේනම් ඩොලරයට සාපේක්ෂව
රුපියලේ අගය වසරක් ඇතුලත අඩු වී තිබේ. එනම් ඩොලරයේ අගය සඳහා වන රුපියල් වටිනාකම වැඩි වි තිබේ. එය රුපියල අවප්‍රමාණය වීමකි.
නමුත් එම ඩොලරය මිලට ගැනීමට වසර 2017 දී
රුපියල් 80ක් වැය කිරීමට සිදුවුයේ නම් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වැඩි වීමකි.
එනම් ඩොලරයක් මිලට ගැනීමට වියදම් කරන රුපියල් ප්‍රමාණය අඩු වී තිබේ. එය රුපියල අධිප්‍රමාණය වීමක් ලෙස හදුන්වයි
මේ දිනවල ලංකාවේ ආර්ථිකය තුල රුපියලේ අගය සීග්‍ර ලෙස අවප්‍රමානය
වීමක් වාර්තාවෙමින් පවතී. එනම් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම අඩුවීමකි.
එය යුරෝ, ස්ටර්ලින් පවුම් ආදී අනෙකුත් රටවල මුදල් වලට සාපෙක්ෂව ද සැලකියයුතු අඩු
වීමක් පෙන්නුම් කරයි. නමුත් ලෝකයේ වැඩිවශයෙන් හුවමාරුවන ජාත්‍යන්තර මුදල් එක්කකය
ඩොලර් වන නිසා එය ඩොලරයට සාපේක්ෂව බොහෝ දෙනෙකු කතා කරයි. විනිමය අනුපාතිකය
වෙනස්වීමට සාපේක්ෂව වර්තමානය වන විට පත්ව ඇති තත්වය ලංකාවේ ආර්ථිකය කෙරෙහි විවිධ
ලෙස බලපානු ඇත.
පසුගිය වසර කිහිපය තුළ ඩොලරයේ ඉහල යාම විනිමය අනුපාතිකය
දෙස බලන විට හදුනාගත හැකිවේ.
දිනය $= ඩොලරයේ රුපියල් අගය
2010-8-18 = 112.2
2015.8.18 = 134.2
2016.8.18 = 145
2017.8.18 = 153.3
2018.4. 25 = 158
පසුගිය ඉහත දක්වන දත්ත අනුව බැලුවහොත් ඩොලරයේ අගයේ ක්‍රමික වැඩි වීමක් මිස අඩු වීමක් වාර්තා නොවේ.
පවතින තත්වය අනුව ඩොලරයේ අගය තව දුරටත්
ඉහල යාමේ අවදානමක් පවතී. ඒ අනුව මෙම තත්වය පාලනය සඳහා පියවර නොගතහොත් 2018 වසර
අවසානය වන විට ඩොලරය රුපියල් 164 සීමාව ඉක්මවනු ඇත. රුපියලේ අගය අඩු වීමේ හෙවත් අවප්‍රමානයේ
බලපෑම අංශ කිහිපයක් ඔස්සේ හදුනාගත හැකිවේ.
Ø මුදල අවප්‍රමාණය
අපනයනවලට වාසිදායක අයුරින් හා ආනයන වලට අවාසි දායක අයුරින් බලපානු ඇත.
Ø පවතින
තත්වය මත ආනයන මත ගෙවන රුපියල් වටිනාකම ඉහළයාම අනිවාර්ය වේ. එනම් ආනයන වියදම ඉහල යයි.
එය ආනයන භාණ්ඩවල දේශීය මිල ඉහල යාමටත් ආනයන මත ගෙවීමට රුපියල් ප්‍රමාණය ඉහල යාමටත්
බලපායි.
එය දේශීය වශයෙන් උද්ධමනයක් ඇතිවීම කෙරෙහි බලපෑමේ
ප්‍රවනතාව ඇත.
අපනයන වාසිදායක වන්නේ අපනයන සඳහා ලැබෙන
රුපියල් වටිනාකම ඉහල යාමත් එම තත්වය නැවත රුපියල ස්ථාවර වීමට බලපෑමේ හැකියාවක්
පවතින නිසාත්ය. උදාහරණයක් ලෙස ඩොලරය =රු.100 අවස්ථාවක තේ කිලෝවක් අපනයනය කලේ රුපියල් 1000කට
නම් 1$=150 දක්වා ඩොලරයේ අගය වැඩිවී තිබෙන අවස්ථාවක දැන් එම කිලෝවම අපනයනය කර රුපියල් 1500ක් ලබාගත හැකිය.
එහෙත් මෙවැනි තත්වයකදී අපගේ අපනයන ධාරිතාව කොපමණද, කුමන ද්‍රව්‍ය
අපනයනය කරන්නේද හා එවැනි අපනයන හැකියාවක් අපට පවතින්නේද යන්න පිලිබඳ ගැටළුවක්
පවතී. එහෙත් කිසියම් අයුරකින් අපනයන ධාරිතාවය ඉහල ගියහොත් එය ආර්ථිකයට සුභදායි වනු
ඇත.
එහෙත් අපගෙ බොහොමයක් අපනයන ප්‍රාථමික
අපනයන හා ප්‍රති සැකසුම් අපනයන වේ. ප්‍රති සැකසුම් අපනයන යනු කිසියම් රටකින් අමුද්‍රව්‍ය
ආනයනය කර ඒවා මගින් නිෂ්පාදනයක් කර නැවත පිටරට විකිණීම හෙවත් අපනයනයයි. ඇගලුම් වැනි අපනයන සඳහා අවශ්‍ය රෙදි, නූල් ආදිය
පිටරටින් ගෙන්වා මෙරට තුල නිමි ඇදුම් බවට පත් කර යළි අපනයනය කිරීම උදාහරණයකි. මේ
තත්වය මත ආනයනය කරන අමුද්‍රව්‍ය සඳහා වන වියදම ඉහල යයි. ඒ අනුව ආනයන වියදම් ඉහල
යාම ආනයනික අමුද්‍රව්‍ය යොදා නිපදවන අපනයනය භාණ්ඩයේ මිල ඉහල යාමට බලපායි. එවිට ඒ
තත්වය මත අපගේ භාණ්ඩවල ලෝක වෙළදපලේ මිල ඉහල යයි. එවැනි තත්වයක් තුල අපගේ අපනයන වල මිලට වඩා අනෙක් රටවල භාණ්ඩ මිල පැවතීමෙන් අපගේ අපනයන
තරගකරිත්වය් අඩු වේ. එවිට අලෙවිය අඩුවේ.එනම් අපනයන මගින් අපේක්ෂිත ආදායම අඩුවේ. එය
මුදල් අවප්‍රමානය වන අවස්තාවක අපනයනය වාසිදායක වීම යන්නට පටහැනි අවස්ථාවකි.
Ø ආනයන සඳහා
ගෙවීමත් , විදේශ ණය වාරික හා ණයමත පොළී ගෙවීම සඳහාත් දැඩි පිරිවැයක් ඇති විය
හැකිය. ඒ තුළ විශාල ආර්ථික හා සමාජ පිරිවැයක් ජනිත වීමේ අවධානමක් ඇත.
Ø රුපියල
අවප්‍රමාණය වීම ආයෝජන කෙරෙහි කිසියම් අවදානම් බවක් ඇති කරයි. එනම් ආයෝජන අවිනිශ්චිත
වේ. මුදල කෙරෙහි පවතින අවිනිශ්චිත බව නිසා ආයෝජකයන් ආයෝජනයට නොපෙළඹ වන අතර කොටස්
වෙළදපල ආදියෙහි කඩාවැටීම තුල ආයෝජන අඩු වීමටත්, බැංකු පද්ධතිය හා පොළී අනුපාතය
කෙරෙහි අශුභ දායි ලෙස බලපෑම් කිරීමටත් හේතු වේ.
විශේෂයෙන්ම මෙවැනි තත්වයක් ඇතිවීමේ මුලිකම
අවදානම හා පාඩුව වන්නේ ශ්‍රී ලංකා රුපියල කෙරෙහි පවතින ජාත්‍යන්තර හා ජාතික
විශ්වාසය අඩු වීමයි. එය විදේශ ආයෝජන කෙරෙහි මෙන්ම අනෙකුත් මුල්‍ය ගනුදෙනු කෙරෙහි
සුබදායක නොවේ.
පවතින තත්වය තව දුරටත් වර්ධනය වුවහොත්
ආර්ථිකයේ මුල්‍ය අස්තායිතාවයක් ඇති වීම කෙරෙහි බලපෑමේ අවදානමක් තිබේ.
පවතින ආර්ථික තත්වය පාලනය කිරීමටනම් විදේශ
සංචිත කළමනාකරණය කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව මහා බැංකුවේ විදේශ සංචිත ඉහල දැමීමේ
හැකියාව ඇත. මහා බැංකුව පවසන පරිදි හම්බන්තොට වරාය සඳහා වන මුදලේ දෙවන භාගය ලබන මස
ලැබීමෙන් අනතුරුව මෙම තත්වය පාලනය කල හැකි බවයි. එහෙත් එය තාවකාලික විසදුමකි.
දේශීය මුදලේ අවප්‍රමාණය සඳහා විදේශ ආදායම් මත ලබන වත්කම්, විදේශ මුදල් හෝ ණය මත
ලබා ගන්න මුදල් / වත්කම් යෙදවිය හැකිය. එහෙත් එය තිරසාර විසදුමක් නොවේ. නැවත අශ්තායිතාවයක්ඇතිවීමට
ඉඩකඩ සලසයි. එහෙයින් ඉදිරියේදී මේ සඳහා තිරසාර ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය වේ.
මේ සඳහා මගේ යෝජනාව වන්නේ අනවශ්‍ය ආනයන
අවම කර, දේශීය වශයෙන් නිපදවිය හැකි දේ නිපදවමින්, අපනයන සඳහා දිරි ගැන්වීමත්, අපනයන
සඳහා අවශ්‍ය පහසුකම් දියුණු කිරීම සඳහාත් රජයේ ආයෝජනය ඉහල නැංවීමයි. ආර්ථිකයේ
ඵලදායි නොවන වියදම් හා ආයෝජන කපාහරිමින් නිවැරදි හා නිශ්චිත ආර්ථික ප්‍රතිපත්තියක්,
විනිමය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමයි.
****
Comments
Post a Comment