සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම සහ
එහි යහපත් අයහපත් ප්‍රතිඵල මොනවාද?,මෙම ගිවිසුම් රටේ ආර්ථිකයට බලපාන්නේ
කෙසේද?
සටහන - ඉසුරු සම්පත්
තෙන්නකෝන්
රටක් තවත් රටවල් සමඟ සම්බන්ධතා පැවැත්වීමේ
දී විවිධ ගිවිසුම් ඇතිකර ගනී. ඒවා බොහෝවිට ආර්ථික, වෙළඳ හෝ ආරක්ෂක ගිවිසුම් හෝ වෙනත් ගිවිසුම් ලෙස වෙන්කර හඳුනාගත හැකිය. ගිවිසුමක් යනු
පාර්ශවයන් දෙකක් හෝ ඊට වැඩි ගණනක් සමඟ සලකා බලන කොන්දේසි මත ඇතිකර ගන්නා පොදු එකඟතාවයකි. එම කණ්ඩායම් ගණන දෙකක් නම් එය ද්විපාර්ශවීය ගිවිසුමකි.
(Bi-lataral agreement) එම කණ්ඩායම් ගණන දෙකකට වැඩි නම් එය බහුපාර්ශවීය ගිවිසුමක් ලෙස
හඳුන්වයි. (Multilateral agreement) මෙම ගිවිසුම් විවිධ කොන්දේසි මත පදනම් වේ. බොහෝ
විට වෙළඳ ගිවිසුමක නම් දෙරටේ වෙළඳාම සම්බන්ධ බොහොමයක් කොන්දේසි ඉවත් කර තිබෙන නැතහොත්
නිදහස් කර තිබෙන තත්වයක් නිදහස් වෙළඳ ගිවිසුමක්
ලෙස හඳුන්වයි.(Free Trade Agreement/FTA) රටක් වෙනත් රටක් හෝ රටවල් කිහිපයක් සමඟ ගිවිසුමක් ඇතිකර ගැනීම සඳහා විවිධ හේතු බලපායි.
ආර්ථික සංවර්ධනය,අපනයන දිරි ගැන්වීම, නව තාක්ෂනය දියුණු කර ගැනීම, සිය රටෙහි ආරක්ෂාව
තරකර ගැනීම ආදී වෙළඳ හා වෙළඳ නොවන උපාය මාර්ගික හේතු ඒ අතර ප්‍රධාන වේ.
ඉහත දැක්වූ සියල්ල අපගේ මූලික කතිකාවට ප්‍රවේශයකි.
මෑතක දී ශ්‍රී ලංකාව තුළ සුලබව කතාබහට ලක්වන සිංගප්පූරු ශ්‍රී ලංකා ද්විපාර්ශවීය නිදහස්
වෙළඳ ගිවිසුම පිළිබඳව කතිකා කිරීමට ප්‍රවේශයක් වශයෙන් මූලික අවබෝධයක් ලබා ගැනීමට එම
කරුණු ඔබට උපකාරී වනු ඇත. සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කරනු ලැබුවේ
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර භාණ්ඩ හා සේවා, තාක්ෂණික සේවා පමණක් නොව ආයෝජන ආදිය
නිදහසේ හුවමාරු කර ගැනීම අරමුණු කරගනිමිනි.
සමස්තයක් ලෙස ලංකාව හා ද්විපාර්ශවිය ගිවිසුම් පිළිබඳව සැලකීමේදී ශ්‍රී ලංකාව දැනට ක්‍රියාත්මක කරනු ලබන්නේ ප්‍රධාන
දිවිපාර්ශය්විය ගිවිසුම් දෙකකි. ඒ ඉන්දු ලංකා ද්විපාර්ශවිය ගිවිසුම සහ පාකිස්තාන ශ්‍රී
ලංකා ද්විපාර්ශවිය ගිවිසුමයි. ඊට අමතරව චීනය හා අනෙකුත් දකුණු ආසියාතික රටවල් සමගත්
ඇමරිකාව හා යුරෝපානු සංගමය සමඟත් වෙළඳ සබඳතා පවත්වාගෙන යයි. නමුත් ආර්ථිකයක් ලෙස ගතහොත්
සිංගප්පූරුව දැනට පවත්වාගෙන යනු ලබන ද්විපාර්ශවීය ගිවිසුම් ගණන විස්සකට ආසන්න වේ. ඊට
අමතරව ආසියාතික හා යුරෝපානු රටවල් සමඟ තරඟකාරී ලෙස ආර්ථික ක්‍රියාකාරකම් හසුරුවන ආර්ථිකයක්
බවට පත්ව තිබේ.
සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව වසර 1950 /60 දශකයේ
එකම තලයේ ආර්ථික ශක්‍යතාවයක් (වර්ධනයක් ) පෙන්නුම්
කරමින් තිබිණ. බොහෝ විට ශ්‍රී ලංකාව සිංගප්පූරුවට වඩා ඉහල වර්ධනයක් පෙන්නුම් කරනු ලැබිණි.
එහෙත් 1960 දශකයෙන් පසු සිංගප්පූරුවට අනුගමනය කරන ලද ආර්ථික ප්‍රතිපත්තිය හා එහි පාලකයන්ගේ
ක්‍රියාකාරිත්වය මත ගිනිකොනදිග ආසියාතික රටවල්
(south east asian countries) අතර ප්‍රමුඛ ආර්ථිකයක් බවට පත්වී තිබේ. මෙම ආර්ථික ගිවිසුම භාණ්ඩ හා සේවා, ආයෝජන, බුද්ධිමය දේපළ
ආරක්ෂණය, තාක්ෂණික හුවමාරුව ආදී විවිධ ආර්ථික කරුණු අරමුණු කරගනිමින් අත්සන් කරන ලද
අතර මෙම ගිවිසුම ඇසුරෙන් රටෙහි විවිධ ආර්ථික
දේශපාලන සමාජමය අංශ කෙරෙහි වන සාධනීය හා නිශේධනීය බලපෑම සම්බන්ධයෙන් අධ්‍යයනය ඉතා වැදගත්
වේ.
බොහෝ දෙනකු තර්ක කරන පරිදි මේ ගිවිසුම සම්බන්ධයෙන්
වන සාධනීය ප්‍රතිඵල පළමුව විමසා බලමු.
1-
මෙම ගිවිසුම යටතේ
ශ්‍රී ලංකාව තුළට නව තාක්ෂණය හා නව දැනුම ගලා එයි.
2-
විදේශ ඍජු ආයෝජන
(FDI) ගලා ඒමක් සිදුවනු ඇත.
3-
ශ්‍රී ලාංකිකයන්ට
සිංගප්පූරුවේ රැකියා අවස්ථා හිමිවනු ඇත.
4-
ශ්‍රී ලංකාවේ අපනයන
ධාරිතාව ඉහල යන අතර ආනයන විවිධතාව හා ගුණාත්මක බව ඉහල යයි.
5-
වෘත්තිකයන්ගේ රැකියාවල
ගුණාත්මක බව හා තරඟකාරී බව ඉහල යාමටත්, ඔවුන් කෙරෙහි පවතින කතිපයාධිකාරී වෙළඳපල තත්වය
(සුළු පිරිසක් අතර පවතින සමස්ත වෙළඳපල හා ඔවුන් සතුව පවතින අධික බලය) බිඳවැටී ජනතා හිතකාමී තත්වයක් උදා වීමටත් බලපායි.
6-
තාක්ෂණිකමය වශයෙන්
වන රැකියා අවස්ථා හා වැඩිදියුණු කළ තාක්ෂණික නිපැයුම් නිෂ්පාදනයට හේතු වේ.
7-
ආනයන සඳහා දැරීමට
වන වියදම් අඩු වීමටත් (තීරු බදු අඩු වීම නිස) අපනයන වෙළඳපල අවස්ථා ඉහල යාමටත් හේතු
වේ. (ASEAN) සමුහයේ ආර්ථික වල වෙළඳපල අවස්ථා උදා වේ.
8-
ගිවිසුම යටතේ සිංගප්පූරු
ශ්‍රමිකයන්ට පමණක් නිශ්චිත විධිවිධාන යටතේ රැකියා කිරීමේ අයිතිය හිමිවන නිසා ලංකාව
තුල පවතින රැකියා විදේශිකයන් කෙරෙහි ගලා යාමේ අවදානම අඩුවේ. බොහෝ දුරට සිංගප්පූරුව
තුල ලංකාවට වඩා වැටුප් ඉහල නිසා එම පුරවැසියන් ලංකාවට නොපැමිණෙන අතර ලංකාවේ පුරවැසියන්ට
එම රට වල ඉහල වැටුප් සහිත රැකියා අවස්ථා හිමිවේ.
9-
ශ්‍රී ලංකානු ආර්ථිකයේ
පාරිභෝගිකයා මෙහෙයවන ආර්ථිකයකින් නිශ්පාධකයා
මෙහෙයවන ආර්ථිකයකට මාරු වීමට ඉඩ සැලසේ.
(consumer driven economy to producer driven economy)
10-
කලාපයේ පවතින අනෙක්
රටවල් කලාපීය වශයෙන් ආර්ථික ගිවිසුම් ගත වීමෙන් (Regional
Comprehensive Economic Partnership (RCEP)) එම රටවල් අතරින් හුදෙකලාවීමේ වැළකීම හා එම
ගිවිසුම් ඇසුරෙන්ද ධනාත්මක ප්‍රතිලාභ උත්පාදනය
කර ගතහැකි තත්වයක් උදාවේ.
ඉහත දක්වන ලද්දේ ගිවිසුමේ
මූලික යහපත් ප්‍රතිඵල ලෙස හඳුනා ගනු ලැබෙන අංශ කිහිපයක් පමණි. මිට අමතරව ආර්ථික, දේශපාලනික
හා සංස්කෘතිකමය ප්‍රතිලාභ විශාල සංඛ්‍යාවක් මෙම ගිවිසුම ඔස්සේ ලැබෙන බවට තර්ක කෙරේ.
සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර පවත්වන මෙම ගිවිසුම
ප්‍රකාරව ආර්ථිකමය හා ආර්ථික නොවන වශයෙන් අපගේ ආර්ථිකයට සිදුවිය හැකි අනර්ථයන් හෙවත්
අයහපත් ප්‍රතිඵල ලෙස හඳුනා ගතහැකි හේතු කාරණා රාශියක් හමු වේ.
1-
මෙම ගිවිසුම යටතේ පාලනකින් තොරව රට තුලට ආනයන ගලා ඒමක්
සිදුවිය හැකි අතර එමගින් දේශීය ආර්ථිකයේ (domestic economy) නිෂ්පාදන හා නව කර්මාන්ත
බිඳ වැටීමට බලපානු ඇත.
2-
වෘත්තිකයන්ගේ රැකියා
අනාරක්ෂිත්භාවයකට පත් වීමේ ඉඩකඩ පවතින අතර දේශීය රැකියා විදේශිකයන් වෙත ගලා යාමක් සිදුවෙතැයි
උපකල්පනය කෙරේ.
3-
ආර්ථිකයේ පවතින
ස්වාධීනතාව අහිමි වන අතර විදේශයක නිෂ්පාදන මත ආර්ථිකයට යැපීමට සිදුවන අතර යම් අවස්ථාවක විදේශ රට කරන බලපෑමක දී දේශීය ආර්ථිකයේ
ශක්තියක් නොමැති වීමෙන් අනාගතයේ බරපතල තත්වයක්
උදාවේ.
4-
මෙම ගිවිසුම යටතේ
රටට අහිතකර නිෂ්පාදන ,ආයෝජන හා පරිසරයට බලපෑම් වන නිෂ්පාදන ගලා ඒමක් සිදුවිය හැකිය.
5-
දේශීය වශයෙන් නිෂ්පාදන
අවම නිසා ඒවා අපනයනයට ඇති ඉඩකඩ අඩු බැවින් අපේක්ෂිත අපනයන ධාරිතාවයක් වර්ධනය නොවේ.
6-
අපනයන අඩුවී ආනයන
වැඩි වීම ගෙවූ ශේෂයට හා මුදලේ අගය කෙරෙහි අහිතකර බලපෑම් වන නිසා පොළී අනුපාතයන්ටත් විදේශ
සංචිතයන්ටත් එමගින් අහිතකර බලපෑමක් ඇතිවනු ඇත.
7-
සේවා වෙළඳපල හා අපේක්ෂිත ආයෝජන නොලැබුණහොත් ආර්ථිකයට අපේක්ෂිත ආර්ථික
වර්ධනයට හෝ සංවර්ධන ඉල්ලක වෙත යා නොහැකිය.
(සළකා බලන අවස්ථාවේ ආයෝජන ලැබෙන බවට උපකල්පනය කළත් ඒ පිළිබඳව දැනටත් නිශ්චිතතාවයක්
නැත)
8-
නිශ්චිත ආර්ථික
ප්‍රතිපත්තියක් හෝ නිවැරදි ආර්ථික දැක්මක් නොමැතිව ගිවිසුමකට යාමෙන් ආර්ථිකයට දැඩි
බලපෑමක් ඇතිවිය හැකිය.
9-
දේශපාලනිකමය තීරණ
මත පමණක්ම සළකා ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වුවහොත් එමගින් දේශීය සම්පත් විදේශිකයන්ට
විකිණීමේ ඉඩකඩක් වර්ධනය වනු ඇත.(ජාතික සම්පත් අවභාවිත වේ)
10-
පුද්ගලීකරණ ක්‍රියාවලිය
හා නිදහස් වෙළඳපල ක්‍රියාකාරකම් නිසා මහජන සුභසාධනය අඩු වී දරිද්‍රතාව සහ ආදායම් බෙදීයාමේ විෂමතාව ඉහල
යනු ඇත.
මිට සාපේක්ෂව විවිධාකාරී වන අයහපත් ප්‍රතිඵල
මෙම ගිවිසුම ඔස්සේ ඇතිවිය හැකි බව ගිවිසුමේ අයහපත් පැත්ත දකින කෙනෙකුට තර්ක කළ හැකිය.
ගිවිසුමකින් ආර්ථිකමය, දේශපාලනමය හා සමාජමය වශයෙන් සැබවින්ම අයහපත් ප්‍රතිඵල ජනිත විය
හැකිය.
සෑම ගිවිසුමකම යහපත් හා අයහපත් ප්‍රතිඵල පවතී.
සෑම ගිවිසුමකම අදාල ගිවිසුමේ පාර්ශවයන් තම ප්‍රතිලාභ උපරිම කිරීමට අපේක්ෂා කරයි. (Minimize the
cost and maximize the profit) ආර්ථිකයක කාර්යභාරය
වන්නේ ගිවිසුම් වලට නොයා සිටීම නොව ගිවිසුමෙහි පවතින දුර්වලතා අවම කරගනිමින් ගුණාත්මක
ප්‍රතිඵල උදෙසා ආර්ථිකය මෙහෙයවීමයි. සිංගප්පූරු ශ්‍රී ලංකා ගිවිසුම තව දුරතත් අධ්‍යයනය
කිරීම ඉතා වැදගත් වන අතර එම ගිවිසුමෙහි අංගයන් පිළිබඳව ආර්ථික ක්‍රියාකාරිකයින්ගේ දැනුම
භාවිතය අවශ්‍ය වනු ඇත. මේ වන විටත් මෙම ගිවිසුම පිළිබඳව විශේෂ කමිටුවක් මඟින් අධ්‍යයනය
කරනු ලබන අතර මෙම ලිපිය ඔස්සේ මා ඉස්මතු කිරීමට
උත්සහ කරන්නේ ගිවිසුමක අනර්ථකාරී ප්‍රතිඵල බොහොමයක් පවතින්නේ නම් එය ක්‍රියාත්මක
කිරීම මගින් ආර්ථිකය මත ඇතිවන අවදානම ඉහල යන බවත්, එහෙත් නිවැරදි හා උපායමාර්ගික ආර්ථික
දැක්මක් හා ඉල්ලක්කයක් යටතේ එම ගිවිසුම ක්‍රියාත්මක කළහොත් කොතරම් අවාසිදායක තත්වයකදී
වුවත් ආර්ථිකයට යහපත් වන ක්‍රමවේදයකට එය හරවාගත හැකි බවයි.
එහෙත් සලකා බලන ගිවිසුම තුළින් වාසිදායක තත්වයක
දී වුවත් සමස්ත ආර්ථිකයට අයහපත් පරිදි මෙහයවුවහොත් එය ආර්ථිකයේ පරිහානියට හේතු වනු
ඇත. ගිවිසුම කුමක් වුවත් එය ක්‍රියාත්මක කරන අයුරු, එමගින් ආර්ථිකයේ සමස්ත ආකෘතියට
වන බලපෑම හා ඒ මත තීරණ ගන්නා පිරිසගේ හැසිරීම, අරමුණු හා අපේක්ෂා මත එහි සාර්ථකත්වය
හෝ අසාර්ථක බව රැඳී පවතී. මේ ලිපියෙන් සිංගප්පූරු හා ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ සමස්ත නිගමනයකට එළඹිය නොහැකි අතර
ඒ මත වන බලපෑම සහ ඒ ඇසුරෙන් ආර්ථිකය ක්‍රියාත්මක වියහැකි ආකාරය පිළිබඳ ව කිසියම් අවබෝධයක්
ඔබට ලබා ගන්නටත් ඒ පිළිබඳ කිසියම් කතිකාවක් සමාජය තුළ ඇතිකර වන්නටත් උනන්දු කෙරෙනු
ඇත.
****
Nigamaya dakwanna kiuwothin kohomada ewa liyanna oni
ReplyDeleteNigamaya dakwanna kiuwothin kohomada ewa liyanna oni
ReplyDelete